විරාගයේ අරවින්දට පරිසමාප්ත අර්ථයක් සිනමා පටයෙන් එක්වෙයි

සිනමාවට නැඟුණු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වැදගත් ම නවකතාව වන ‘විරාගය’, සුපැහැදිලි ව ම ‘ගම්පෙරළිය’, ‘කලියුගය’ හා ‘යුගාන්තය’ ට වඩා වෙනස් ගති ලක්ෂණ පෙන්නුම් කරන බව සත්‍යයකි. එසේ වන්නේ අන්තර්ගත කාරණා සතු මූලික ලක්ෂණ නිසා ම නොවේ. ඇත්ත වශයෙන් ම මාර්ටින් වික්‍රමසිංහයන් ගේ ප්‍රමුඛ නවකතා තුළ එන්නේ ම පෙර කී පරමාර්ථයි. සිනමාවට නොනැඟුණු ‘කරුවල ගෙදර’ නවකතාව ද මෙතැනට කැඳවිය හැකි ය.

මේ අනුව ‘විරාගය’ නවකතාවේ අනන්‍යතාව පිළිබඳ අදහස් උපදින්නේ එහි ප්‍රකාශන විලාසය ද මුල් කර ගෙන බව පෙනේ.

‘විරාගය’ නවකතාව ලියැවෙන්නේ එක් නිශ්චිත චරිතයක් මුල් කොට ගෙනයි. නවකතාව පුරාම මේ චරිතයට ලබා දෙන වටිනාකම – වැදගත්කම ලඝු නොවේ. විශේෂයෙන්ම අවධාරණය කළ යුතු කාරණය වන්නේ නවකතාව මේ චරිතයේ දෘෂ්ටියෙන් රචනා වී තිබීම ය.

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා හා ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිනමා භාවිතය අතරැ’ති ඥාති සබඳතාව දෘඪතර ය. ඒ ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ හා ‘මඩොල්දූව‘ සිනමාවට නැගුණේ ලෙස්ටර් අතින් වීම නිසා ම නොවේ. ‘විරාගය’ සිනමාවට නඟනු පිණිස ද ලෙස්ටර් උත්සුක වීම නිස යි. කෙසේ වෙතත් ලෙස්ටර් ගේ මේ ප්‍රයත්නය ව්‍යර්ථ වීමෙන් පොදුවේ ලාංකික සිනමාවට අගතියක් සිදු නොවූ බව පසුකාලීනව ප්‍රත්‍යක්ෂ වේ. ඒ තිස්ස අබේසේකර ‘විරාගය’ නවකතාව විශිෂ්ට ආකාරයකින් සිනමාවට රැගෙන ආ හෙයිනි. තිස්ස හා ලෙස්ටර් අතර වූ ගැඹුරු සබඳතා ද මෙහිදී සිහිපත් කිරීම වටී. ලෙස්ටර් ගේ ‘විරාගය’ හි තිර නාටකය රචනා කළේ ද තිස්ස යි.

‘විරාගය’ නවකතාවට කවර අවදියක් පසුබිම් වන්නේ දැයි යන්න විමසීම ඵලදායී නොවන්නකි. මාර්ටින් වික්‍රමසිංහයන් එබඳු සඳහන් කිරීම් වෙතින් වැළකෙන්නට උත්සුක වී ඇති බව පෙනේ. ඇත්තෙන්ම මේ ‘විරාගය’ ඔහුගේ සෙසු ප්‍රමුඛ නවකතා වෙතින් වෙනස් වන තවත් අවස්ථාවකි. කෙසේ වුවද ‘විරාගය’ මුළුමනින්ම විඥානධාරා රීතිය ගුරු කොට ගත්තේ යැයි පැවැසීමට නුපුළුවන. එය මාර්ටින් වික්‍රමසිංහයන් මනාව අනුදත් සම්භාව්‍ය යථාර්ථවාදී රීතියක්, විඥානධාරා රීතියන් මුසු කළ අවස්ථාවක් ලෙසින් ද දැක ගත හැකිය.

තිස්ස අබේසේකර ‘විරාගය’ නවකතාවේ මේ ස්වභාවය වටහා ගෙන ඇත්තේ කෙසේ ද? එක් අතකින් ඒ නිරායාසයෙනි. තවත් අතකින් ඒ බුද්ධිමය ව්‍යායාමයකිනි. නිරායාසයෙන්ම එය වටහා ගන්නට තරම් තියුණු ඉවක් තිස්ස සතුව තිබු බව රහසක් නොවේ. ඔහු හැදී වැඩී ලොකු මහත් වන්නේ ම නිරන්තරයෙන්ම චලනය වූ සමාජ වටාපිටාවක ය. දේශපාලනික පරිසරයක ය. බුද්ධිමය ව්‍යායාමයකින් ‘විරාගය’ බඳු නිර්මාණ කාර්යයක් විනිශ්චය කරන්නට තරම් වූ දැනුමක් වගා කර ගන්නට ඔහු සමත් ව සිටියේ ය. තැනෙක එය විධිමත් ය. තවත් තැනෙක එය අවිධිමත් ය.

තිස්සට මහත් පිටිවහලක් වන්නේ ඔහු විසින් ම රචනා කළ තිරනාටකයයි. ඔහු සිනමාපටය රූපගත කළේ ද තිරනාටකයේ පිළිවෙළටම ය. ආපසු හැරී බලන විට පෙනී යන්නේ තිස්ස හැර ‘විරාගය’ නවකතාවෙන් සිනමා තිරනාටකයක් රචනා කළ හැකි අන් අයකු හඳුනා ගැනීම දුෂ්කර බවයි.

‘විරාගය’ හි පුවත වහාම ගෙවුණු සියවසේ තෙවැනි දසකය කරා ගෙන යන්නට යි තිස්ස පළමු කොටම තීන්දු කරන්නේ. එය ‘විරාගය’ හි නිශ්චිත හා ප්‍රමුඛ චරිතය වන අරවින්ද හුදෙකලා, වියුක්ත, අභව්‍ය පුද්ගලයකු වීම ඉක්මනින් ම වළක්වාලයි. නවකතාව රචනා කිරීමේ දී මාර්ටින් වික්‍රමසිංහයන් එබඳු පසුබිමක් ගෙන හැර නොපෑම එක් අතකින් සහේතුක ය. එහෙත් වෘත්තාන්ත සිනමාපටයක් යනු නවකතාවක රූපමය පිටපතක් නොවන බව තිස්ස හොඳාකාරව ම දනී.

අනෙක් අතට තිස්ස, අරවින්දගේ චරිතය විනිවිද දකින්නට අපූර්ව මඟක් තෝරා ගන්නට ද නො පැකිළෙයි. එනම් සිනමාපටය 1980 දසකය කරා ද ගෙන යමිනි. අරවින්දගේ ඥාතිවරියකට අවශ්‍ය වන්නේ අරවින්ද ව යළි දකින්නට ය. අරවින්ද මිය ගොස් වසර බොහෝ ගණනකට පසුව ඈ දරන මේ ප්‍රයත්නයට තිස්ස දේශපාලනික අරුතක් එක් කරන්නේ සිනමාපටය වඩා සංකීර්ණ අවස්ථාවක් කරා අවතීර්ණ කරමිනි. අරවින්දගේ ඥාති දියණිය මේ අභිලාෂය සාක්ෂාත් කර ගන පිණිස උපකාර අයදින්නේ වාමාංශික බුද්ධිමතකු වන සැමී නමැත්තාගෙනි. ඔහු තමා සතු දේශපාලනික ඥානයෙන් අරවින්ද ව දකින්නට වෑයම් කරයි.

‘විරාගය’ සිනමාපටය මෙසේ නිර්මාණය කිරීමට තුඩු දුන් හේතු පවසන්නට තිස්ස කිසිසේත්ම මැළි නොවේ. ඇතැම් විට ‘විරාගය’ සිනමාපටය මෙසේ අතීතාවර්ජනයක් බවට පත් කරලීම සම්බන්ධයෙන් නොයෙක් වාද විවාද ඇති වන්නට ද ඉඩ තිබිණ. ඒ නිසාම දෝ තිස්ස ‘විරාගය’ මහජන ප්‍රදර්ශනයට මුදා හරින්නට පෙරාතුවම මේ නව ලක්ෂණ පිළිබඳ අදහස් දක්වා තිබේ.

‘විරාගය’ සිනමාපටයේ එන අරවින්ද කවරාකාර පුද්ගලයෙක් ද? පළමු විමර්ශනයේ දී ම සැක හැර දැක ගත හැක්කේ අරවින්ද අතිශය සංකීර්ණ චරිතයක් බවයි. අරවින්ද පමණක් නොව සෙසු චරිත ද සංකීර්ණ ය. මුළුමහත් සමාජම සංකීර්ණ ය. සියලු මිනිසුන් – සියලු ගැහැනුන් සංකීර්ණ ය. එහෙත් මේ හැම කෙනෙකුම තීරණාත්මක නොවේ. ප්‍රබල බලපෑම් එල්ල නොකරයි. අරවින්ද එබන්දකු නොවන හෙයින් සිනමාපටය අතිශයෝක්තියක් බවට පත් නොවේ. අරවින්ද සෙස්සන්ට වඩා වෙනස් සුවිශේෂී පුද්ගලයකු බව නිවැරැදිව හා තාර්කිකව තේරුම් ගන්නට රසිකයා සමත් වීමත් සමඟමයි එම අදහස සනාථ වන්නේ.

තිස්ස අබේසේකර

අරවින්දගේ භූමිකාව දෙයාකාර ය. බාහිර හා අභ්‍යන්තර වශයෙනි. මේ සම්මත භූමිකා ස්වභාවයක් ද වන බව සැබෑය. තිස්ස මෙතැනදී හැසිරෙන්නේ නොදැනුවත් ආකාරයකින් නොවේ. සිනමාපටයේ ප්‍රකාශන රීතියට හා තිස්සගේ අරමුණට මේ පිළිවෙත අනුකූල ය. ‘විරාගය’ හි සමස්තය ම විශිෂ්ට සිනමාපටයකට නිදසුනක් වන්නේ මේ හේතුව ද නිසාවෙනි.

අරවින්දගේ ජීවිතය හැඩ ගැස්වීම කෙරෙහි සෘජු ව ම බලපාන්නේ මව ය. පියා නොවේ. පවුල ද, සමාජය ද පුරුෂ මූලික ය. දරුවන්ගේ හෙට දවස පිළිබඳ අදහස් ගෙන එන්නේ පිය පාර්ශ්වයයි. ප්‍රතිඵලය කුමක් වුවද දරුවෝ ඒවාට අනුගත වෙති. එහෙත් අරවින්ද පිය පාර්ශ්වයේ පුරුෂ මූලික බව නොඉවසයි. ඔහු මවගේ ජිවන දැක්ම, තමාගේ ද ජීවන දැක්ම බවට පත් කර ගන්නට යි වෙහෙසෙන්නේ. එනම් ලොකු මිනිසකු නොව හොඳ මිනිසකු වීම යි. ලොකු මිනිසකු වීමට වඩා හොඳ මිනිසකු වීම දුෂ්කර ය. පියා පැවැසූ පරිදි වෛද්‍යවරයකු වී හොඳ මිනිසකු වීමට ද පුළුවන. එහෙත් සමාජය වෛද්‍යවරයා දකින්නේ ලොකු මිනිසකු ලෙසිනි. අරවින්ද මේ බව කල් ඇතිවම ඥානනය කර ගත් බවයි දැන් රසිකයාට සිතෙන්නේ.

අරවින්ද පරාජිත, බෙලහීන, අකර්මණ්‍ය චරිතයක් යැයි පැවසෙන අදහස් ඔහුගේ මේ පිළිවෙත් නිසා නිෂේධනය වීමේ ඉඩක් මතු වේ. කෙසේ වත් ඔහු ස්ත්‍රී මූලික අවස්ථාවකට නොය යි. පුරුෂ මූලික හෝ ස්ත්‍රී මූලික සමාජ සැකසුමකින් ආලෝකයක් නො ඉල්ල යි. එහෙත් ඔහු පුරුෂ මූලික සම්ප්‍රදායයන් නො ඉවසන්නෙකි. එයට ප්‍රායෝගිකවම එරෙහි වන්නෙකි. ඒ අරුතින් පෙනී යන්නේ අරවින්ද සරල චරිතයක් සේ වග විභාග කිරීමේ අන්තරාදායක බව යි.

සරෝජිනීගේ යෝජනාව සම්බන්ධයෙන් අරවින්ද නිහඬ පිළිවෙතක පිහිටීම අදෘශ්‍යමාන අරුත් මතු කරන්නකි. සරෝජිනී උත්සුක වන්නේ සාම්ප්‍රදායික කුටුම්භයක් සරිකර ගන්නට යි. එතැන ආදරය, සෙනෙහස සේම රාගය ද ඇත. පුරුෂ මූලික තත්ත්වය ද ඇත. පුරුෂ මූලික බවට එරෙහි ව සිය ජීවිතය ආරම්භ කළ අරවින්දට සාම්ප්‍රදායික විවාහයකින් පලක් නැත. ලිංගික හැඟීම් පවා මෙතැනදී මතු නොවන්නේ ඒවා ද සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ බැඳීම් විසින් අත්අඩංගුවට ගනු ලැබේ යැයි අරවින්දට සිතුණු නිසා විය හැකි ය. බතී සම්බන්ධ සිදුවීම් සමුච්චය ඇතැම් විට ලිංගිකත්වය පිළිබඳ අරවින්දගේ දැක්ම වඩා විවාදාත්මක අදියරකට ගෙන යන බව ද පෙනේ.

සමකාලීන ගැමි මධ්‍යම පන්තිය ලාංකික සමාජයේ ප්‍රගතිය උදෙසා ඉටු කළේ කවර කාර්යභාරයක් ද? තිස්ස මහත් ඕනෑකමකින් මෙම ප්‍රශ්නය මතු වන්නට ඉඩ හරියි. මේ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමය යි. පිබිදෙමින් ආ දේශීය ධනේශ්වරය උනන්දු වූයේ කිසියම් සම්මුතිවාදී මඟකින් තරමක ආර්ථික – දේශපාලන නිදහසක් සාක්ෂාත් කර ගන්නට ය. වාමාංශික ව්‍යාපාරය ජව සම්පන්න ලෙසින් පෙරට එමින් තිබිණ. එහි අරමුණු බැඳී තිබුණේ පරිපූර්ණ නිදහසක් සමඟිනි.

ගැමි මධ්‍යම පන්තිය එබඳු නූතන හා වර්ධනීය අදහස් සම්බන්ධයෙන් සවිඥානක වූයේ දැයි යන්න සැක සහිත ය. ඇත්ත වශයෙන් ම පෙනී යන්නේ ගැමි මධ්‍යම පන්තිය බ්‍රිතාන්‍ය පාලනය හා ගැටුමකට අවතීර්ණ නොවෙමින් භෞතික වර්ධනයක් අපේක්ෂා කළ බවයි. මේ අනුව අරවින්ද ගැමි මධ්‍යම පාන්තික ආකල්ප, පරමාර්ථ හා එකඟතාවකට නොයාම පසුගාමී තීරණයක් නොවන බව පැහැදිලි ය. ඔහු අරගලකාරී අන්දමින් තමා ද රැඳී සිටින ගැමි මධ්‍යම පන්තියට අභියෝග නොකළ බව ඇත්ත ය. ඊට අනුගත නොවී නොසැලී සිටීම ද අභියෝගයක් එල්ල කිරීමකි. විටෙක මේ උඩු ගං බලා පිහිනීමක් ලෙසින් ද පෙනේ. තනි පුද්ගලයකුට මහා බලවේගයක් පැරදවිය නො හැකි ය. එහෙත් තිස්ස, අරවින්ද ව දකින්නේ මහා ප්‍රවාහයකට එරෙහි බලවේගයක සංකේතයක් ලෙසිනි.

‘විරාගය’ සිනමාපටයේ දර්ශනයක්

අරවින්දගේ මරණය ද සංකේතාත්මක ය. තිස්සට වුවමනා වන්නේ අරවින්ද පිළිබඳ පුද්ගලික යථාර්ථය නොව පොදු යථාර්ථය සනිටුහන් කරන්නට යි. ඒ සඳහා උචිත ම විධි ක්‍රම සොයා තිස්ස ගමන් කරන්නේ වර්තමානයට ය. 1980 දසකයට ය. අරවින්දගේ ජීවිතය සොයා බලන සැමී කරා ය. සැමී පවසන්නේ අරවින්දගේ වටිනාකම ඉවෙන් වාගේ තේරුම් ගන්නට නූගත් ගැමියන් සමත් වූ බව ය. ඔවුන් වැල නොකැඩී පැමිණ අරවින්දගේ දේහයට අවසන් ගෞරව දැක්වූ බව ද ඔහු පවසයි. තිස්ස, සැමී ගේ චරිතය නිර්මාණය කරන අන්දම ගැන ද මෙතැන දී සැලකිලිමත් විය යුතුය. ඔහු න්‍යායක්ම කරපින්නා ගත් වාමාංශික නාමධාරී බුද්ධිමතකු නොවේ. පුද්ගලයා ද, සමාජය ද ගැඹුරින් විනිශ්චය කොට තර්කානුකූල හා පෙරටුගාමී විශ්ලේෂණ අවධාරණය කළ බුද්ධිමතෙකි. විටෙක සිතෙන්නේ මේ තිස්සගේම අරමුණු මූර්තිමත් කළ චරිතයක් බවයි.

අරවින්ද අරභයා ගැමි ජනයා දැක්වූ සුහද ආකල්පය පිළිබඳ සැමීගේ සඳහන, අරවින්ද පිළිබඳ නව වටිනාකමක් ගෙන එන බව පෙනේ. එනම් අරවින්ද පොදු ජනයාගේ මිනිසකු වන බවයි. එසේම අරවින්ද හා පොදු ජනයා අතර යම් පරතරයක් ද තිබූ බවයි. නො එසේ නම් අරවින්ද සාරගර්භ සමාජ පරිවර්තන හා ප්‍රායෝගිකවම බද්ධ වන්නට ඉඩ තිබිණ. තමාගේ ජීවන රටාව එබඳු තැනකට ගෙන ඒම අරවින්දගේ අපේක්ෂාවක් නොවී ය.

මේ අනුව පෙනී යන්නේ අරවින්දගේ චරිතයේ බාහිර ලක්ෂණ හා අභ්‍යන්තර ලක්ෂණ අතර ප්‍රති විරෝධතා ද සහිත සබඳතාවක් තහවුරු කරන්නට තිස්ස උනන්දුවෙන් ක්‍රියා කළ බවයි. නියත වශයෙන් ම එය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අරවින්දට, වඩා පරිසමාප්ත අර්ථයක් සිනමා මාධ්‍යයෙන් ලබා දීමකි.

අරවින්දගේ චරිතය පිළිබඳ දීර්ඝ විමසුමක නිරත වෙමින් ජීවන්ත දයානන්ද පවසන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් කියන පරිදිම අරවින්ද සතුටින් ජීවත් ව, සතුටින් මිය ගිය වාසනාවන්තයකු යැයි සිහි නුවණින් යුතුව ‘විරාගය’ විමසන්නකුට පසක් විය යුතු බව යි. අරවින්ද සිය ජීවිතයේදී අහිමි වූ වටිනාම වස්තුව වන සරෝජිනී කෙරෙහිවත් ශෝක නොවූ බව පවසන ජීවන්ත යමෙක් අහිමි වූ දෙයක් වෙනුවෙන් ශෝක නොවී නම් හෙතෙම පරාජිතයකු වන්නේ කෙසේදැයි අනතුරුව ප්‍රශ්න කරයි.

(තිස්ස – සිනමා බැතිමතකුගේ වන්දනා ගමන, පි. 169)

‘විරාගය’ සිනමාපටය නිර්මාණය කිරීමේදී තිස්සට සානුබල සැපයූ පිරිස අතිමහත් ය. ඒ අතර විශේෂ ස්ථානයක් හිමි වන්නේ අරවින්ද වූ සනත් ගුණතිලකට යි. සනත් ගේ රංගනය දනවන්නේ විස්මයකි. අරවින්දගේ ඇතුළාන්තයට ම පිවිසෙන්නට සනත් සමත් වෙයි. අමතක නොකළ යුතු ම කාරණය වන්නේ ඒ වන විට සනත් මෙබඳු ගැඹුරු චරිත නිරූපණයට අද මෙන් වැඩිපුර අවතීර්ණ වී නො තිබීම ය. සනත් ගේ කුසලතාවට තිස්ස ගේ ප්‍රතිභාව අපූරුවට එක් ව තිබිණ.

තුසිත ජයසුන්දර

~ by පොත් ගුල on June 14, 2011.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: