සුලබ සිනමාව අතික්‍රමණය කරන්නට දැරූ වෑයමක් හෙවණැලි ඇද මිනිස්සු

ස්වකීය පළමු පිවිසුම හරහා ම ප්‍රතිභාසම්පන්න අනාගතයක ලක්ෂණ සූක්ෂම ව හා නිශ්චිත ව ප්‍රකට කළ නිර්මාණකරුවන්ගෙන් ලාංකික කලාව පොහොසත් ය. කෙසේ වුවද වඩාත් ම වැදගත් වන්නේ එම අපේක්ෂා ප්‍රායෝගික තලයේදී දුර්මුඛ නොවී පැවැතීම යි. ඒ බලාපොරොත්තු හා යථාර්ථය අතර බරපතළ වෙනස්කම් වුව පවතින්නට ඕනෑ තරම් ඉඩකඩ පවතින හෙයිනි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අද දවසේදී ලාංකික කලාව විෂයයෙහි ඉටු කරමින් සිටින්නේ විටෙක ශාස්ත්‍රීය වූද, විටෙක විවාදාත්මක වූද, නිර්මාණශීලී වූද, නිර්දය ප්‍රහාර ආදියට ද නොමඳ ව ලක් වන පෘථුල කාර්යභාරයකි.

ඒ බව ඔහුගේ ප්‍රථම නවකතාව වන වර්ෂ 1964 දී ප්‍රකාශිත ‘හෙවණැලි ඇද මිනිස්සු’ වෙතින් සූක්ෂම ව හා නිශ්චිත ව නිරූපණය වේ. 1964 වර්ෂය තුළ දී ප්‍රකාශිත හොඳම නවකතාවට සේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයෙන් එය ලද සම්මානය තැබිය හැක්කේ ද ඇත්තෙන් ම ඊට යටත්ව ය.

‘හෙවණැලි ඇද මිනිස්සු’ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ශ්වය අනුදත් සම්භාව්‍ය නවකතා ප්‍රවණතාව හා නොබැඳෙයි. එමතු ද නොව සමකාලීන ව ප්‍රකට ව තිබූ ‘පේරාදෙණි සාහිත්‍ය’ සතු අංගෝපංග ද එහිලා තීරණාත්මක ව දක්නට නො ලැබෙයි. වසර බොහෝ ගණනකට පසුව ‘හෙවණැලි ඇද මිනිස්සු’ යළි කියවද්දී හැඟී යන්නේ එය යට කී දෙපාර්ශ්වය ම අවබෝධයකින් යුතු ව ඇසුරු කළ නවකතාවක් වන බව ය.

‘හෙවණැලි ඇද මිනිස්සු’ ලියැවෙන්නේ විඥානධාරා රීතියෙනි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. එනිසාම නිශ්චිත චරිතයක් මූලික වෙයි. පාඨකයාට සිදුවන්නේ ඔහුගේ ඇසින් කතුවරයා මවන ලෝකය දකින්නට ය. එය විනිවිද දකින්නට ය. විශ්ලේෂණය කරන්නට ය. විග්‍රහ කරන්නට ය. කතුවරයා සිය ප්‍රධාන චරිතයේ සිතුම් පැතුම් වචන වලට පෙරළන්නේ නිදහස් ව ඒවා ගලා යන පරිද්දෙනි. සිතුවිලි ගලා යන්නේ යම් ස්ථිතික හැඩයකින් තොරව ය. මේ නවකතාවේ මූලික රූපය ද එබඳු ය.

සමකාලීන නාගරික මධ්‍යම පන්තික ජීවිතය යි ‘හෙවණැලි ඇද මිනිස්සු’ ට විෂය වන්නේ. ප්‍රධාන චරිතය නාගරික මධ්‍යම පන්තික පවුලක තරුණයෙකි. හේ වික්ටර් ය. වැඩිහිටි පාසල් සිසු අවදියේ සිට පෙම්වතකු වීම දක්වා ද, ඉනික්බිතිව විවාහකයකු දක්වා ද වික්ටර්ගේ චරිතය විකාශය වෙයි. මේ ඔස්සේ සමකාලීන නාගරික මධ්‍යම පන්තික ජීවිතයේ බාහිර ලක්ෂණත්, අභ්‍යන්තරයත් හඳුනා ගන්නට කතුවරයා දරන ප්‍රයත්නය දෘඪතර ය.

නවකතාවක දී මෙබඳු පිළිවෙතක් සාර්ථක කර ගැනීමට ඇති අවකාශය සුළුපටු නැත. නවකතාකරුට ප්‍රමාණාත්මක සීමා පැන නොනඟන තරම් ය. වචන හසුරුවාලීමේ සමත්කම අනුව ජීවිතයේ හෝ සමාජයේ හැම අහුමුල්ලක් වෙත ම යන්නට ඔහු සමත් වනු ඇත. මේ සමත්කම් පිළිබිඹු වන්නේ නවකතාවේ ඒකමිතිය අරබයා ඔහු දැක්වූ නිහඬ අවධානයේ ප්‍රමාණය වෙතිනි. ‘හෙවණැලි ඇද මිනිස්සු’ විශිෂ්ට නවකතාවක ලක්ෂණ පමණක් නොව ගැඹුරු ආස්වාදයක් ලබමින් පරිශීලනය කළ හැකි නවකතාවක් ද වන්නේ ඒ නිසා ය.

සිනමා මාධ්‍යය කරා මෙබඳු නවකතාවක් ගෙන යාම අතිශය අසීරු අවදානම් සහගත කටයුත්තක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ’ කෘතහස්ත සිනමාකරුවකු වුවද මෙබන්දක් ගැන දෙවරක් සිතනු ඇත. ඇරත් සිනමාවේ ධනෝපායන අවශ්‍යතා හා මෙබඳු නවකතා විෂය කර ගැනීම අතර ඇත්තේ දැවැන්ත පරතරයකි. නියත වශයෙන් ම මෙබඳු නවකතා සේම ඒවා විෂය කර ගත් සිනමාපට ද ඇසුරු කරන්නට උත්සුක වන්නේ සංකීර්ණ අත්දැකීම් පි‍්‍රය කරන, ඉහළ රසඥතාවක් හිමි පාර්ශ්ව බව සැබෑ ය. කෙසේ වත් ඔවුන් බහුතරය ද නොවේ.

තමන්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමාපටය සඳහා ‘හෙවණැලි ඇද මිනිස්සු’ බඳු නවකතාවක් විෂය කර ගැනීමේ අභියෝගය පරාක්‍රම ද සිල්වා භාර ගන්නේ යථොක්ත පසුබිම තුළ විද්වත් රසික ප්‍රජාව තිගැස්සවමිනි.

සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර පවතින නොඑකඟතාව කෙසේ වතුදු පරාක්‍රමගේ මේ සිනමාපටය ‘හෙවණැලි ඇද මිනිස්සු’ ප්‍රදර්ශනයට එක් වන්නේ ලාංකික සිනමාවේ නිර්මාණශීලී නැඹුරුවක් ප්‍රබලාකාරයෙන් සනිටුහන් වූ වර්ෂ 1980 දීය.

‘හෙවණැලි ඇද මිනිස්සු’ සිනමාවට නැඟීම සම්බන්ධයෙන් පරාක්‍රම දැක්වූ අදහස් නවකතාව හා සිනමාව අරභයා ඔහු තුළ වූ අවබෝධයේ ප්‍රමාණය අවධාරණය කරයි. සිනමාව කතා කීමේ කලාවෙන් මුදවා ගැනීමට මෙහිදී තමා අපේක්ෂා කළ බව යි පරාක්‍රම කියා සිටින්නේ.


සිනමාපටය විෂයයෙහි අනු පිළිවෙළක් බාහිර වශයෙන් දක්නට නොමැති බවත්, එහෙත් සමස්තයක් ලෙස අභ්‍යන්තරික කතා අනු පිළිවෙළක් දැක ගත හැකි බවත් ඉනික්බිතිව ඔහු පවසන්නේ සත්තකින් ම නවකතාවේ යථා ස්වභාවය මනාව වටහා ගෙන ඇති බව ඉඟි කරමිනි.

(මෑන්හයිම් යන ‘හෙවණැලි ඇද මිනිස්සු’ ‘සරසවිය’, 1980.09.19 සාකච්ඡා කළේ : සුනිල් හොරේෂස්)

මේ අනුව පරාක්‍රම, වික්ටර්ගේ චරිතය පිළිබඳ මනා පූර්ව අවබෝධයකින් ද පසුවූ බව පෙනේ. ඇත්ත වශයෙන් ම සිනමාපටයට සාධාරණයක් ඉටුවන්නේ ම වික්ටර්ගේ චරිතය නිවැරැදි ව විකාශය වීම පාදක කොට ගෙන ය. සිතුවිලිවලට – හැඟීම්වලට මුල් තැන දෙන මෙබඳු චරිතයක් ශ්‍රව්‍ය – දෘශ්‍ය මාධ්‍යයකට පෙරැළීමේදී වඩා සාර්ථක වන්නට ප්‍රවීණ සිනමාකරුවන් සතු අවකාශය ඉමහත් ය. කෙසේ නමුදු පරාක්‍රමට මීට සමාන අතීත අත්දැකීම් ද තිබූ බව සඳහන් කිරීම වටී.

පරාක්‍රම වර්ෂ 1971 දී නිර්මාණය කළ ‘භග්න ආශා’ කෙටි සිනමාපටයට විෂය වූයේ ද නිශ්චිත පුද්ගලයකුගේ අභ්‍යන්තරික ස්වරූපය යි. ඊට පිටුබලය සැපයූ ගුණදාස අමරසේකරගේ ‘ධර්මසේන’ නැමැති කෙටි කතාව පරාක්‍රමගේ ගැඹුරු අධ්‍යයනයකට ලක් ව තිබිණ. වර්ෂ 1971 ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ දී ‘භග්න ආශා’ට විචාරක සම්මානයක් පිරිනැමීමෙන් ම එය සනාථ වේ.

පරාක්‍රම ද සිල්වා

‘හෙවණැලි ඇද මිනිස්සු’ සිනමාපටයේ දී වික්ටර්ගේ සිතිවිලි නිරූපණය සඳහා පසුබිම් කථනය යොදා ගන්නට පරාක්‍රම උත්සුක විය. මේ සිනමා මාධ්‍යය සතු ප්‍රකාශන ශක්‍යතාවේ තරම නොදැන කළ කටයුත්තක් සේ දැකීම සුදුසු නොවේ. සැබැවින්ම ඒ අත්හදා බැලීමකි. කොහොමත් ‘හෙවණැලි ඇද මිනිස්සු’ සැලකෙන්නේ පර්යේෂණාත්මක සිනමාපටයක් ද ලෙසිනි. මහජන ප්‍රදර්ශනය සඳහා සිනමාශාලා කරා මුදාහරින වෘත්තාන්ත සිනමාපට, පර්යේෂණාත්මක අවස්ථා බවට පත්වන්නේ කලාතුරකිනි.

නවකතාවේදී වික්ටර්ගේ චරිතය හඳුන්වා දෙන්නේත්, විකාශය කරන්නේත් සමකාලීන නාගරික මධ්‍යම පන්තියේ බලාපොරොත්තු, ඉරණම හා හැඟීම් පිළිබිඹු කෙරෙන ආකාරයකට ය. ඒ අනුව වික්ටර් සමකාලීන නාගරික මධ්‍යම පන්තියේ පිළිබිඹුවක් බවට පත් කරලන ආකාරය විද්‍යමාන වේ.

නවකතාවේ එන වික්ටර් 1960 දසකයේ තරුණයෙකි. සිනමාපටයේ වික්ටර් ජීවත් වන්නේ 1970 දසකයේ ය. 1980 දසකය කරා ශ්‍රී ලාංකික සමාජය ගමන් කරන්නේ පුද්ගල ජීවිතයේ හා සමාජ ජීවිතයේ තියුණු පරිවර්තන ද, උඩු යටිකුරු වීම් ද සමඟ ය.

සිනමාපටය ප්‍රදර්ශනයට එක් වන්නේ මේ බව ශීඝ්‍රයෙන් පසක් කර ගත හැකි වටාපිටාවක යි. පරාක්‍රම මේ කෙරෙහි අවධානය යොමු නොකරන්නේ සිනමාපටයේ මූලික අදහසත්, ආකෘතියත් පර්යේෂණාත්මක ස්වරූපය තුළ ම බහාලීමේ ආධ්‍යාශය නිසා විය යුතුය.

බොහෝ සමාජ දේශපාලන විමර්ශන මෙරට නාගරික මධ්‍යම පන්තිය කෙරෙහි සුහද ආකල්පයක් නොදක්ව යි. පොදුවේ මධ්‍යම පන්තික ආකල්ප – වටිනාකම් බැහැර කෙරෙන අවස්ථා සුලබ ය. මධ්‍යම පන්තිය ප්‍රශස්ත සමාජ පරිවර්තනයකට බාධා පමුණුවන බව නිතර කියැවේ.

පරාක්‍රම මේ අරබයා සැලකිලිමත් වන්නේ නවකතාවට ද යුක්තිය ඉටු කරලන්නට මහන්සි ගනිමිනි. සමකාලීන නාගරික මධ්‍යම පන්තිය වික්ටර් හරහා පරාක්‍රම දකින්නේ පෙර කී මාදිලියේ දැක්මක පිහිටා නොවේ.

වික්ටර් එක්තරා ආකාරයකින් තමා වෙසෙන පන්තියේ පිටස්තරයෙකි. එහෙත් ඔහු භෞතික ව තමාට උරුම වූ දෑ ප්‍රතික්ෂේප නොකරයි. ඔහු තුළ උපදින මතවාද නිතරම සුපුරුදු මධ්‍යම පන්තික ආකල්ප හා ගැටේ. තවදුරටත් ඔහුට සිදුවන්නේ තමාව පිටස්තරයකු කළ මේ මධ්‍යම පන්තිය තුළම වෙසෙන්නට ය.

භෞතික විතැන් වීමකින් තොර මතවාදී පරිවර්තනයක් ප්‍රකට කරන ගුණාත්මක බව පිළිබඳ සාකච්ඡාවකට වික්ටර් මනා නිමිත්තකි, සැබැවින්ම එය සිනමා පටයේ එන අප්‍රකාශිත අරමුණක් ද වේ.

ආරම්භයේ දී වික්ටර් වැඩිහිටි පාසල් ශිෂ්‍යයෙකි. ඉක්මනින්ම ඔහු තම පන්තියට අයත් යුවතියක හා පෙමින් බැඳෙයි. ඉනික්බිතිව ඔවුහු විවාහ වෙති. එක් අදියරකදී මේ ජීවිතය අවුල් ජාලාවක් වන්නේ පුද්ගල හා සමාජ ජීවිත නිරූපිත සම්මත ආකෘති ආදිය අභියෝගයට ලක් කරමිනි.

වරෙක සමච්චලයට ලක් කරමිනි. හෑල්ලුවට ලක් කරමිනි. මධ්‍යම පන්තික ස්ත්‍රී – පුරුෂ සබඳතා සතු ව්‍යාජ ලකුණු නොසඟවා ප්‍රකාශයට පත් කරමිනි. නවකතාව නිමා වන්නේ වික්ටර් ඉරි කැබලි බහුල ජනෙල් වීදුරුවක් දෙස බලා සිටින අවස්ථාවක් සමඟ ය. මේ නිසි පිළිවෙළක් රහිත ඉරි කැබලි රාශියකි.

පරාක්‍රම උනන්දු වන්නේ සිනමාපටයකට වඩා උචිත ආකාරයේ අවසානයකට වික්ටර් ව කැඳවන්නට ය. වික්ටර් රැඳී සිටින්නේ පාළු මුහුදු වෙරළකයි. අපැහැදිලි රූප වෙළක් ඔහු අතින් වැල්ල මත ඇඳේ.

එක් මාධ්‍යයකින් ප්‍රකාශිත නිර්මාණයක් තවත් මාධ්‍යයකට පෙරැළීමේදී ඇතැම් වෙනස්කම් කරන්නට ද සිදුවේ. ‘හෙවණැලි ඇද මිනිස්සු’ ද ඒ බව පවසයි. බොහෝ විට සිදුවන්නේ මුල් නිර්මාණයේ හිමිකරු අසතුටට පත් වීමයි.

මෙහිලා සුනන්ද මහේන්ද්‍ර ද පවසන්නේ තමාගේ අරමුණු සිනමාපටය තුළ දැක ගත නොහැකි බවය. තමා අදහස් කළේ වික්ටර්ගේ හා ඔහුගේ පවුලේ අර්බුදය සමාජ බිඳ වැටීමක් ලෙස පෙන්වීම බවත්, එහෙත් පරාක්‍රම එය පෞද්ගලික බිඳ වැටීමක් සේ නිරූපණය කළ බවත් ඔහු තවදුරටත් පවසයි. එසේ වුවද සිනමාකරු පරාක්‍රම සතු අයිතියට ඔහුගේ ගෞරවය හිමි වේ.

(සුලබ සිනමාවෙන් බැහැර වීමේ වෑයමක් – සුනන්ද කියයි, ශ්‍රී ලංකාදීපය, 1980.11.09)

කෙසේ නමුදු වික්ටර් ගේ පුද්ගලිකත්වය හුදෙක් ඔහුව ම හුවා දැක්වීමේ අධ්‍යාශයකින් තොරව වටහා ගත හැකි ඉඩක් සිනමාපටය තුළ දැක ගත හැකිය. ඇත්තෙන්ම සිනමාපටයේ එන වික්ටර් බැලූ බැල්මට දෘශ්‍යමාන පුද්ගල රූපයකි. නියත වශයෙන් ම එය විනිවිද යා යුතුය. වික්ටර් නාගරික මධ්‍යම පන්තික නිෂ්පාදනයක් බව ඥානනය කර ගත හැක්කේ ඉනික්බිතිව යි.

සිනමාපටයේ නිර්මාණශීලී මට්ටම සහතික කෙරෙන්නේ වික්ටර්ගේ චරිතය ගොඩනැඟෙන ආකාරය අනුව ය. වඩා සුදුසු රංගන ශිල්පියකුගේ දායකත්වය සිනමාපටය ඉල්ලා සිටින්නේ චරිත මූලික ස්වභාවය හා අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මනා සැලකිල්ලක් දක්වාවියැයි යන විශ්වාසය ද නිසයි.

ධර්මසිරි බණ්ඩාරනායක වික්ටර් ගේ චරිතය නිරූපණය කරන්නේ සාම්ප්‍රදායික දැක්මකට හසු නොවන්නට ද ඉඩ ඇති ආකාරයෙනි. සමකාලීන ව ධර්මසිරි ‘පළඟැටියෝ’ හා ‘හංස විලක්’ යන සිනමාපට සඳහා දායක වූයේ ද විකල්ප හෝ වෙනස් මාදිලියේ රංගන කාර්යයක් ප්‍රකට කරමින් ය.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ පසුකාලීන සාහිත්‍ය කාර්යයන් වක්‍රව ‘හෙවණැලි ඇද මිනිස්සු’ සඟවා ඇතැයි සිතේ. එක්තරා ආකාරයකින් ‘හෙවණැලි ඇද මිනිස්සු’ සිනමාපටයට ද සිදුවූයේ සඟවා තැබීමේ අවශ්‍යතාවකට නතු වන්නට යි.

1980 වසරේදී මුල් වරට ප්‍රදර්ශිත ‘කරුමක්කාරයෝ’, ‘හංස විලක්’, ‘පාර දිගේ’, ‘ගඟ අද්දර’ හා ‘හෙවණැලි ඇද මිනිස්සු’ බොහෝ විචාර ප්‍රතිචාර ලද බව සත්‍යයකි. එහෙත් සම්මාන ආදිය හරහා ඒවාට නිල වටිනාකම් පිරිනැමුවේ හෝ පිරි නොනැමුවේ ප්‍රතිවිරෝධතා සහිතව ය. ‘හෙවණැලි ඇද මිනිස්සු’ ඉන් බැට කෑ මුල් පෙළේ සිනමා පටයකි.

වික්ටර් බඳු චරිත අද ද නාගරික මධ්‍යම පන්තිය තුළ සුලබ ය. විටෙක ඒවා පුද්ගල රූප ම නොවේ. අදහස් මාලාවකි. හැඟීම් සමුදායකි. නවකතාව ද, සිනමාපටය ද තව දුරටත් කල් ඉකුත් නොවන්නේ වික්ටර්ගේ චරිතය යථොක්ත පරිවර්තන හරහා සක්‍රිය ව පවතින හෙයිනි.

තුසිත ජයසුන්දර

~ by පොත් ගුල on February 7, 2011.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: