පරිවර්තන සාහිත්‍යයේ සොඳුරු ආඥාදායකයා

මුනිදාස සෙනරත් යාපා

අත් දිග කමිසයකින් හා කලිසමකින් සැරසුණු හීන්දෑරි උස මහතෙක් දිනපතා ම ඉංගිරියේ සිට කොළඹට බසයෙන් එයි. ඇඳුමෙන් මතු නොව කතාබහෙන් හා පෙනුමෙන් ද හෙතෙම බටහිර පන්නයේ උගතකු සේ පෙනෙයි.

ඔහු මෙසේ නිතිපතා ඉංගිරියේ සිට කොළඹ එන්නේ ඉංග්‍රිසි උගන්නන්නටය. ඉංග්‍රිසියට නමක් දිනූ කොළඹ මරදානේ ස්ටැෆඩ් තක්සලාවේ දිසාපාමොක් ඔහු ය.

සුද්දන්ගේ භාෂාව ඇතැඹුලක් සේ දැන හැඳිනගත් මේ ඇදුරාණන්ට දිනක් ඔහුගේ මිතුරෙක් අපූරු යෝජනාවක් කළේ ය.

”තමුසෙගෙ ඔය සාහිත්‍ය අවබෝධයයි භාෂා ඥානයයි පාවිච්චි කරලා හොඳ පොතක් දෙකක් සිංහලට පරිවර්තනය කරනවකො” අයිසෙ.

”ඉංගිරිසි නම් ටිකක් පුළුවන් තමා. ඒ වුණාට මම දන්න සිංහලක් නැහැ අයිසෙ පොතක් පරිවර්තනය කරන්ඩ තරම්”

මේ අපූරු යෝජනාව ඉදිරිපත් කළ මිතුරා නම් ප්‍රකට පුවත්පත් කලාවේදියකු වන ජී.ආර්.වික්‍රමසිංහයන් ය. යෝජනාව භාරගැනීමට මැලිකම් දැක්වූ ඇදුරාණන් වූ කලී, පසු කලෙක රට පරසිදු ග්‍රන්ථ පරිවර්තකයකු වූ මුනිදාස සෙනරත් යාපා සූරීන් ය.

කෙසේවතුදු මිතුරු වික්‍රමසිංහයන් ගේ යෝජනාව අපතේ ගියේ නැත. අප ඇදුරාණෝ සිංහල භාෂා ඥානය ප්‍රගුණ කරගැනීමට අදිටන් කරගත්හ. ඔහු වහා බම්බලපිටිය වජිරාරාමයට ගොස් පෙරදිග භාෂාවන් පිළිබඳ ප¼ඩිරුවනක් වන පැලෑනේ වජිරඤාණ මහ නා හිමියන් සෙවනේ බස හැදෑරීම ඇරඹීය.

සිංහල නවකතාවේ සක්විති ඩබ්ලිව්.ඒ.සිල්වා ද ඔහුට වජිරාරාමයේදී මුණගැසිණ. සිල්වා සූරීන් ද නා හිමියන්ගේ ගෝලයෙක් විය. සිල්වා මුනිදාස මිත්‍ර සන්ධානයට මුල පිරෙන්නේ මෙලෙසිනි.

මුනිදාස සිංහල භාෂාවට පෙම් වඩන්න වූයේ පාසල් වියේදී ම ය. උදේට ගමේ පාසලට ගිය ඔහු හවස් වරුවේ ඉංගිරියේ විද්‍යාවර්ධන පිරිවෙනට ගොස් භාෂා ඥානය ඔප්නංවා ගත්තේ ය. ඒ, වියත් පඩිවරයකු වූ ඉංගිරියේ ශ්‍රී ධර්මාරාම හිමියන් වෙතිනි. එහෙත් ග්‍රන්ථ පරිවර්තකයකු වීමට නම් භාෂාද්වයෙහි ම පරතෙරට පැමිණිය යුතු යැයි ඔහු තීරණය කර සිටියේය.

පසු කලෙක අප රටෙහි පරිවර්තන සාහිත්‍යයේ දැවැන්ත චරිතයක් බවට පත්වූ මුනිදාස සෙනරත් යාපා ඇති – හැකි පැලැන්තියට අයත් කෙනෙක් නොවේ. වෙද පරපුරක සාමාජිකයකු වුව ද මුනිදාසයන්ගේ පියා සාමාන්‍ය ගැමියෙක් විය. පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩවලින් ජීවිතය ගැට ගසා ගනිමින් සිය බිරියගේ ගම වන ඉංගිරියේ ජීවත් වුව ද දරුවන්ට සුවපහසු නිවහනක් තනාදීමේ හැකියාවක් ඒ පියාණන්ට නොවීය.

එහෙත් ඒ කුඩා නිවහනේ දී දැවැන්ත ග්‍රන්ථ කිහිපයක් දැන හඳුනාගැනීමේ භාග්‍යය දරුවන්ට හිමි විය. කියවීමට ඇලුම් කළ පියා ජාතක පොත, පංච තන්ත්‍රය බඳු කෘති ඇසුරු කිරීම හේතු කොට ගෙන බහ තෝරන වියේදීම අප ලේඛකයා ද ඒවායෙහි දිග පළල දැකබලා ගත්තේ ය.

අද කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලය එදා හැඳින්වුණේ කොටහේන ද්විභාෂා පාඨශාලාව නමිනි. පවුලේ දරුවන් අතර ශිල්පයෙහි වඩාත් සූරකම් පෑ මුනිදාසයන්ට ඉංගි‍්‍රසි අධ්‍යාපනය ලබාදීම වැදගත් යැයි කල්පනා කළ පියතුමා, යාපා වෙද මහත්තයා නම් ප්‍රකට ව එකල කොළඹ පනික්කි වීදියේ විසූ සිය වැඩිමහල් සොහොයුරා වෙත මුනිදාස රැගෙන ගියේ ය. නැති-බැරිකමේ අසීරුව හොඳහැටි අත් විඳ සිටි මුනිදාසට මහප්පාගේ නිවස සුරවිමනක් සේ පෙනිණ.

කොටහේන ද්විභාෂා පාඨශාලාවේදී මුණගැසුණු පියතිලක ඇදුරුතුමා මුනිදාසගේ අනාගත ගමන් මඟෙහි පහන් කණුව බවට පත්විය. ගමේ පාසලේ දී වීරසේන ඉස්කෝල මහත්තයා විසින් පාදා දෙනු ලැබූ මාවතේ තවත් බොහෝ දුර යාමට මුනිදාසට පියතිලක සර්ගෙන් ලැබුණේ සවිමත් අත්වැලකි.

ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වූ මුනිදාස ඉංග්‍රිසි භාෂාව පුළුල් ව හැදෑරීමට පෙම්බ්‍රොත් විදුහලට පිවිසුණේ ය. තෙවසරක ඉගෙනුම නිමා කළේ අලවතුගොඩ රජයේ පාසලකට ඉංග්‍රිසි ගුරු පත්වීමක් දිනාගනිමිනි. ඒ 1946 වසරේ දී ය. රජයේ ගුරු වෘත්තිය ඔහුට වැඩි කල් යා දුන්නේ නැත. නවසිය හතළිස් අටේදී ඔහු පෞද්ගලික අංශයේ රස්සාවක් සොයා ගත්තේ ය. ඒ ද ඇදුරුකමෙකි. කොළඹ මරදානේ ස්ටැෆඩ් විදුහලේ ය. 1985 වන තුරු ම ඔහු එහි සේවය කළේ ය.

අප මුලින් සඳහන් කළ ජී.ආර්.වික්‍රමසිංහ ඇතුළු විද්වතුන් රැසකගේ ඇසුරට මුනිදාස පත්වනුයේ මේ සමයේ ය. මිතුරන් අතර ඔහුගේ කෙටි නම ‘මුනි’ විය. වැඩි කල් නොගොස් ශිෂ්‍ය සමාජයෙහි ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ ‘මුනිදාස සර්’ නමිනි.

1956 අප රටෙහි ඇතිවූ සමාජ පෙරළිය මුනිදාසයන්ට ද බලපෑවේය. ලියලමින් තිබූ සංස්කෘතික ප්‍රබෝධය තවත් ඔපවත් කිරීමට තමන් ද හැකි පමණින් දායක විය යුතු යැයි ඔහුට සිතිණ. අයිරිස් ජාතික ගෝල්ඩ්ස්මිත් ගේ ‘ද ටිකාර් ඔෆ් වේක්ෆීල්ඩ්’ කෘතිය සිංහලට නැඟීමට ඔහු පෙළඹිණ.

ගෝල්ඩ්ස්මිත් කවියාගේ එක ම නවකතාව වුව ද ඉන් සාර්ථක ඵල නෙළා ගැනීමට මුනිදාසට නොහැකි විය. ලෝක පූජිත මහා ලේඛක ටොල්ස්ටෝයිගේ ‘ඇනා කැරනිනා’ නවකතාවට මුනිදාසයන්ගේ හිත යන්නේ ඉනික්බිතිවය. ඒ උත්සාහය හිතුවාටත් වඩා සඵල වන්නේය. සිංහලට නැඟුණු ටොල්ස්ටෝයිගේ ප්‍රථම කෘතිය ද එයයි.

මුනිදාස සෙනරත් යාපා නම් විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයාගේ ආගමනය සිදුවන්නේ ඒ අයුරිනි. එතැන් සිට පාඨක විචාරක ප්‍රසාදය දිනාගනිමින් ලෝක සාහිත්‍යයේ අගනා මිණිකැට රැසක ආලෝකය දේශීය පාඨක ප්‍රජාව වෙත රැගෙන ඒමට ඔහු සමත් වන්නේය. ‘අපරාධය හා දඬුවම’, ‘අපරාජිත බිස්මාකය හා රෝම ලලනායනය’ ඒවා අතරින් කිහිපයකි.

මුනිදාසයන් හුදු ග්‍රන්ථ පරිවර්තකයෙක් පමණක් නොවේ. ලොව සියලු ම භාෂාවන්ට ගරු කරන අතර තම මව් බසට අසීමිත ලෙස පෙම්බැඳි භාෂා ප්‍රේමයෙක් ද වේ. කවුරුන් හෝ විසින් කොතැනකදී හෝ භාෂාව කෙළසනු ලැබුවේද මුනිදාසයෝ ඒ පුද්ගලයාගේ තරාතිරම නොබලා දැඩි ප්‍රහාර එල්ල කළහ. ඔවුන් හා වාද විවාදවලට අවතීර්ණ වූහ.

මහාචාර්ය සුචරිත ගම්ලත්, සිරි තිලකසිරි, කරුණාරත්න අමරසිංහ, ඩී.එෆ්.කාරියකරවන, මහාචාර්ය ජේ.බී.දිසානායක බඳු විද්වතුන් සමඟ දිනමිණ, සිළුමිණ හා ලංකාදීප ආදී පුවත්පත් ඔස්සේ ඔහු විවිධ වාද විවාදවලට පැටලුණේය. ‘ලියන්න – ඊට පෙර බස නිවැරැදි ව ඉගෙන ගන්න’ මුනිදාසයන්ගේ පන්හිඳෙන් එකල නිතර ලියැවුණු ආදර්ශ පාඨයක් විය. වාද විවාදවලදී සිය ප්‍රතිමල්ලවයන්ට මුනිදාසයන් විසින් එල්ල කළ ප්‍රහාර කෙතරම් කර්කෂ වුව ද නිර්භීත ව පෑන හසුරුවමින් ඉහළ මට්ටමේ භාෂා සංගායනාවක් ගොඩනැංවීමට ඔහුගේ කස පහරවල් මහත් සේ දායක විය.

භාෂා පොරපිටියේ කෙතරම් ගුස්ති ඇල්ලුව ද මේ භාෂා ප්‍රේමීන් අතර සොඳුරු මිත්‍ර සමාගමක් ගොඩනැඟී තිබුණි. පර බසෙහි කෙළ පත් වූවකු වුවද මුනිදාසයෝ සිංහල ගැමිකමට මහත් සේ ඇලුම් කළෝ ය. ඔහු සිය මිත්‍ර සමාගම ඉංගිරියට කැඳවා ගත්තේ ය. මහැදුරු සුචරිත, කරුණාරත්න අමරසිංහ, ඩී.එෆ්.කාරියකරවන, සිරි තිලකසිරි ප්‍රමුඛ මිතුරෝ විටින් විට ඉංගිරි චාරිකාවේ නිරත වූවෝ ය. තරුණ ලේඛකයන් වූ නන්දන වීරසිංහ හා සුජීව දිසානායක ද ඇතැම් විට මේ කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. චාරිකා සත්කාරකත්වය ග්‍රන්ථ ප්‍රකාශක සිරිසුමන ගොඩගේ වෙතින් සිදුකෙරිණි. මිතුරන්ට පිරිනැමුණේ ගමේ කැවිලි පෙවිලිවලින් පිරි සංග්‍රහයකි. මඤ්ඤොක්කා හා නැවුම් කිතුල් රා ද වැරදුණේ නැත. සංග්‍රහශීලී මිතුරු සෙවෙනේ භාෂාව හා සාහිත්‍ය කලාවන් අරබයා උණුසුම් සංවාද ද පැනනැඟිණ.

ඉඩක් ලද හැම විටම මිතුරන් බැහැදැකීම මුනිදාසයන්ගේ ද සිරිතකි. හිස් අතින් ගෙදරකට ගොඩවැදීම නරක පුරුද්දක් සේ ඔහු සැලකීය. පලතුරු – රසකැවිලි ආදියෙන් පිරි මල්ලක් ද රැගෙන ඔහු මිතුරන් සොයා ගියේ සිනහබර මුවිනි.

බස නසනවුන් හමුවේ ගලක් මෙන් දැඩි වුවද සැබැවින් ම ඔහු සතු වූයේ මලක් සේ මුදු හදවතකි. මිතුරන් දකින්නට එන හැම විටක ම පාහේ කොළඹ දැක නැති කොල්ලන් කිහිපදෙනකු රියෙහි නංවාගෙන ඒමට ඔහු පුරුදු ව සිටියේ ය. ඔහුගේ රියට ස්ථිර රියැදුරෙක් ද නොවීය. රියැදුරු බලපත්‍රයක් හිමි ගමේ ඕනෑ ම කෙනෙකුට එහි සුක්කානම කරකැවීමේ අවසරය තිබිණ.

රැකියාවෙන් විශ්‍රාම ගත් මුනිදාසයන් තම නිවස අසල ම ගොඩනැඟිල්ලක් තනවා ගමේ දරුවන්ගේ ඉංග්‍රිසි දැනීම පෝෂණය කිරීමට ඇපකැප විය. ඒ වන විට ඔහු කලිසම් – කෝට් පැත්තකට දමා සරම් – කමිස අඳින්නට පුරුදු ව සිටියේ ය. ඔහුගේ ලියන මේසය තිබුණේ නිවසේ සාලයේ ය. දැකුම්කළු වෙල් එළියක් නිවස ඉදිරිපිටින් දිස්විණි. බුලත්විට හපමින් හා සුරුට්ටු උරමින් ඔහු ලේඛන කාර්යයේ නිරත වූයේ සුන්දර වටපිටාවේ ද රසවිඳිමිනි.

ජීව භාෂාවන් එදිනෙදා පැනනැඟෙන අවශ්‍යතා අනුව වෙනස් විය යුතු බවත්, වැරදි විදිහට භාෂාව භාවිතා කිරීම දිය පහරකට වස දැමීමක් බඳු අපරාධයක් බවත් තමාගෙන් සාකච්ඡා ලබාගැනීමට පැමිණි මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළේය. මුනිදාසයන් වඩාත් අගය කළ දේශීය ලේඛකයා වූයේ ඩබ්ලිව්.ඒ.සිල්වා සූරීන් ය. තමා සිල්වා සූරීන් අගය කිරීමට හේතුව ඔහු වික්‍රමසිංහයන්ටත් වඩා හොඳින් නිවැරැදි භාෂාව පරිහරණය කිරීම බවද මුනිදාසයෝ සෘජු ව පැවසූහ.

අසූ ගණන්වල මුනිදාස ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු වූ ඇල්ෆුඩ් පෙරේරා සමඟ දිනමිණ පත්තරය ඔස්සේ වාදයකට පැටලුණේ ය. වාදයට මුල් වූයේ එකල ගුවන්විදුලියේ තිබූ ’ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති සංස්කාරක’ නම් තනතුර පිළිබඳව ය. එසේ නම් ’අප්‍රධාන සිංහල ප්‍රවෘත්ති සංස්කාරකවරයකු’ ද පත්කළ යුතු බව මුනිදාස පෙන්වා දුන් කළ ඇල්ෆ‍්‍රඩ් පෙරේරා නිහඬ විය.

ඒඵඵඪඵබචදබ ට්ධමඥපදථඥදබ ඒඨඥදබ නමැති පදවිය ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ’සහකාර ආණ්ඩුවේ ඒජන්ත’ ලෙස සිංහලකරණය කරනු ලැබීම තරයේ විවේචනය කළ අප විද්වතා ඉන් ගම්‍ය වන්නේ ’සහකාර ආණ්ඩුව නමැති ආයතනයක ඒජන්ත’ යන අරුත නොවේදැයි නොබිය ව ප්‍රශ්න කළේ ය. මෙසේ විටින් විට ඉංග්‍රිසිත් – සිංහලත් හරිහැටි නොදන්නා පුද්ගලයන් විසින් හඳුන්වා දෙනු ලැබූ ’ගර්හිත බස්, ආරක්ෂක රැකවල්කරු, පරිභව කරන ලද බැටළු දෙනුන්, ප්‍රසිද්ධ වැසිකිළිය, ප්‍රසිද්ධ නොතාරිස් ආදී වචන ඔහුගේ දැඩි උපහාසයට ලක්විය. මුනිදාස එබඳු වචන හැඳින්වූයේ ’හපුටු සිංහල’ ලෙසිනි.

සිය ජීවිතයම භාෂාවේ හා සාහිතයයේ උන්නතිය වෙනුවෙන් කැප කළ මුනිදාස සෙනරත් යාපා විද්වතාණන් අතින් සම්පාදනය වුණු කෘති සංඛ්‍යාව 28කි. ඔහුගේ දැවැන්තම ලේඛන කාර්යය ලෙස සැලකෙනුයේ 2004 වසරේදී පළ කළ සදර්ථවාහිනී’ නම් ඉංග්‍රිසි සිංහල ශබ්දකෝෂයයි. මුනිදාසයන් එහි මුල් පිටපත පිරිනැමුයේ එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ය. වසර තුනක් පමණ කාලයක් ඇතුළත මුද්‍රණ තුනක් නිකුත් කිරීමට සිදුවීමෙන් ම එහි ජනප්‍රියත්වය තේරුම් ගැනීමට පුළුවන.

සදර්ථවාහිනියේ සංශෝධිත නව මුද්‍රණයක් ද මෑතකදී ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී තිබේ. තිස්ස කාරියවසම්, ඩබ්.බී.දොරකුඹුර හා රත්නසිරි අරංගල යන මහැදුරන්ගේ උපදේශකත්වයෙන් පසක් වී ඇති මීට අලුතින් එක්ව ඇති මුල් වචන ප්‍රමාණය 6000ක් පමණ වේ. ශබ්දකෝෂ පිළිබඳ විශාරදයකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙය හඳුන්වන්නේ ඉංග්‍රිසි උගන්නා ආධුනිකයන්ට දැන් තිබෙන හොඳම ශබ්දකෝෂ අතරින් එකක් ලෙසිනි. ජීවන ගමනේ අටවන දශකය පසුකර සිටියදී මුනිදාසයන්ගේ එක් පාදයක දණහිසෙහි ආබාධයක් ඇතිවිය. ඊට ප්‍රතිකර්මය වූයේ කෘත්‍රිම දණහිසක් බද්ධ කිරීමයි. ශල්‍යකර්මය සඳහා වැයවන මුදල ලක්ෂ තුනහමාරකි. ‘ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින මා වෙනුවෙන් එපමණ මුදලක් වැය කිරීම නිෂ්ඵල’ යයි පැවසූ අප වියත් ලේඛකයා, වෛද්‍ය විශාරද අමරසිරි පොන්නම්පෙරුමගෙන් දේශීය වෙදකම් කිරීමට තීරණය කළේ ය.

ඔහු සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනා පොත්පත් ජනසන්තක කිරීමට ගත් තීරණය ද සියලු දේ අත්හැරීමට මුනිදාස සෙනරත් යාපාණන් තුළ පැවැති අල්පේච්ඡ ජීවන දෘෂ්ටිය ප්‍රකට කිරීමකි. ලේලියක වන කේ.වී.මානෙල් හා ඇගේ ස්වාමියා වන ආර්.ඩී.චන්ද්‍රදාස යුවළ අවසාන භාගයේ මුනිදාස සෙනරත් යාපා සූරීන් රැකබලා ගත්හ.

සිය භාෂාඥානයෙන්, සරසවි මහැදුරන්, පරිපාලන නිලධාරීන්, ඇතුළු විවිධ වෘත්තිකයන් සිය දහස් ගණන් දැයට බිහි කළ මේ මහා ලේඛකයා 2005 වසරේ සීතල උඳුවප් මස එක්තරා දවසක නිහඬ ව ම දැයෙන් සමුගත්තේ ය. සහෘද මිතුරාගේ නික්ම යාම ඩී.එෆ්.කාරියකරවන වියතාණන්ගේ පන්හිඳෙන් සටහන් වූයේ මෙලෙසිනි.

’බහුශ්‍රැත ප¼ඩිවර ඉංගිරියේ මුනිදාස සෙනරත් යාපා සූරීන් බැස ගියේ කැලෑ හඳක් මෙනි. සමාජයේ ඔහුට ලැබිය යුතුව තිබූ තැන ලැබුණේ නැත. කිසිදිනෙක කිසි විටෙක කිසිවකුට ඔහු දෙවැනි වූයේ නැත. ගිය ගිය තැන මුදුනෙහි වූයේ ය.’

කමල් පෙරේරා

~ by පොත් ගුල on January 31, 2011.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s