සමාජය රාජ්‍යය සහ ආගම

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ව සිට දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි මහාචාර්ය අමරදාස ලියනගමගේ මහඇදුරුතුමන් විසින් මීට වර්ෂ කිහිපයකට පෙර (90 දශකයේ) ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියා පළ කරන ලද Society state and Religion in pre modern Sri Lanka නමැති කෘතිය සිංහල පාඨකයා අතට පත්කිරීමට ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම නම් කෘතිය හඳුන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට ගණයේ ඉතිහාසඥයකු වූ මහාචාර්ය ලියනගමගේ මහතා ඉතිහාස විද්‍යාර්ථීන් අතර වඩාත් ප්‍රකට වූයේ පොළොන්නරු රාජධානියේ පරිහානිය සහ දඹදෙණි රාජධානියේ නැඟීම නමැති දිවයිනේ සංක්‍රාන්ති සමයක් වශයෙන් සැලකෙන 12 සහ 13 වන සියවස් සම්බන්ධ ඉතිහාසය පරීක්ෂා කරමින් සම්පාදනය කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය පළ කිරීම නිසයි. පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම නම් අපගේ අවධානයට ලක්වූ කෘතිය ඉන් පසුව එතුමන් විසින් වරින්වර සිදුකළ පර්යේෂණ කිහිපයක් එක්තැන් කිරීමකි.

ලියනගමගේ මහඇදුරුතුමන් වරින්වර ලියා පළ කරන ලද පර්යේෂණ ලිපි නමයක් (9) මෙහි ඇතුළත් වෙයි. සමස්ත ග්‍රන්ථයේ අන්තර්ගතය හා මෙහි ග්‍රන්ථ නාමය වන පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම යන්න සලකා බලන විට ඒ ඒ මාතෘකාවලින් පිළිබිඹු වන ප්‍රස්තුතය ග්‍රන්ථ නාමයට මනාව ගැළපෙන ආකාරයෙන් යොදා ඇත. මෙහි අන්තර්ගත පරිච්ඡේද ගණන නමයකි.

පළමු පරිච්ඡේදය වෙන්කර ඇත්තේ සමස්ත විෂය පථයටම අනුරූප වන දිවයිනේ භූගෝලීය පරිසරය පිළිබඳව පාඨකයාට අවශ්‍ය මූලික දැනුම් සම්භාරය අත්කර දීම සඳහාය. මේ ග්‍රන්ථයේ එන හැඳින්වීමේ කොටස ඉතා වැදගත් වේ.

එය ආධුනික ඉතිහාසඥයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද එකසේ වැදගත් වනු ඇත. මක්නිසාද යත් අප ඇදුරුතුමන් විසින් ඉන් අපට පහදා දෙන්නට උත්සාහ දරන දැනුම් සම්භාරය නූතන විද්‍යාර්ථීන්ට ඉතා අත්‍යවශ්‍ය ශික්ෂණයක් වන නිසාය. මෙම හැඳින්වීමේ පරිච්ඡේදයේ දෙවන කොටසින් කතුවරයා ඉතිහාස යන පදය ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය විග්‍රහ කරන්නේ ඉතාමත් ක්‍රමික ආකාරයකටයි. මෙම කොටස ඉතිහාස රචනයෙහි යෙදෙන ආධුනිකයන්ට කෙටි වුවද වටිනා පාඩමකි.

මේ කෘතියේ දෙවන තුන්වන හා සිව්වන පරිච්ඡේදවලින් උත්සාහ කර ඇත්තේ සමස්තයක් ලෙස ඉන්දු ලංකා සම්බන්ධතාවල ඓතිහාසික පසුබිම විවරණය කිරීමට වන අතර ඒ තුළින් සිංහල සහ දෙමළ ජනයා අතර යටපත් වූ අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර ඇත. ඉන් දෙවන පරිච්ඡේදය යොදාගෙන ඇත්තේ මෙරට පාලි සාහිත්‍යයේ වටිනා කෘතියක් වන උපාසකජනාලංකාරය නම් කෘතිය ආශ්‍රයෙන් ඓතිහාසික විවරණයක යෙදීමටයි.

මේ පරිච්ඡේදයෙන් ඒ කෘතියේ කර්තෘ, කාලය පිළිබඳ ව මෙන් එහි අන්තර්ගත සැඟවුණු දේශපාලන හා ආර්ථික තොරතුරු ද මනාව විවරණය කර ඇත. ලංකාව හා දකුණු ඉන්දියාව අතර ක්‍රියාත්මක වූ සමාජ, සංස්කෘතික හා වාණිජ සම්බන්ධතා පිළිබඳ නව අදහස් මතු කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. ලංකාව හා දකුණු ඉන්දියාව අතර දේශපාලන වාදභේද පැන නැගුණ ද ඒවා වාණිජ හා ආගමික සම්බන්ධතාවලට බාධාවක් නොවූ අයුරු මෙම විවරණයෙන් පැහැදිලි වෙයි.

මේ කෘතියේ තුන්වන ලිපිය වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ අප මහාචාර්ය තුමා මීට කලකට පෙර කරන ලද තවත් පර්යේෂණයකි. දකුණු ඉන්දියාවේ බටහිර දිග මුහුදු වෙරළට යාබඳ ව පිහිටි කේරළ ප්‍රදේශය හා ලංකාව අතර පැවති සම්බන්ධතා දෙකක් පිළිබඳ ව මේ ලිපියෙන් අනාවරණය කර ඇත. එහෙත් ලංකාව හා කේරළය අතර දේශපාලන ගැටුම් ඇති වූ බව මෙරට ඓතිහාසික ලේඛනවලින් හෙළි නොවෙයි.

දහතුන්වන හා දහහතර වැනි සියවස්වල ඇති වූ මේ අර්බුදයට කේරළයේ දේශපාලන අධිකාරියේ සෘජු දායකත්වයක් නොවූ බව මෙහි පෙන්වා දී ඇත. මෙම ලිපියෙන් ලියනගමගේ සූරීන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ චොල පාණ්ඩ්‍ය මෙන් නොව කේරළ රාජ්‍යය ලංකාව හා සම්බන්ධතා පවත්වා ඇත්තේ කුලී හේවායන් වශයෙනි. එහෙත් එසේ නොවන ආකාරයේ සම්බන්ධතාවක් පිළිබඳ තොරතුරු මෙම ලිපියේ ඉදිරිපත් කර ඇත.

මේ කෘතියේ හතරවන ලිපිය පැරණි හා මධ්‍යකාලීන ඉන්දු ලංකා සම්බන්ධතා පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකි. ලංකාවට ආසන්නයේ පිහිටි මේ මහා භූගෝලීය ඒකකයේ බලපෑම ඈත අතීතයේ සිට විවිධාකාර ලෙස එල්ල විය. එසේ එල්ල වූ බලපෑම් පිළිබඳව විමසා බැලීම මෙහි අරමුණ වී ඇත. දේශපාලන සම්බන්ධතා මෙන්ම වාණිජ හා සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

එහිදී උතුරු ඉන්දියානු රාජ්‍යවලට වඩා දකුණු ඉන්දියානු රාජ්‍ය මේ දිවයින කෙරෙහි අවධානය යොමු කළ ආකාරය පිළිබඳ ව කතුවරයා විශේෂ අවධානයක් යොමු කරයි. ඒ අනුව මෙරට රජවරුන්ගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන්නෙකුට වැදගත් තොරතුරු රැසක් මෙම ලිපියේ අඩංගු වන බව පෙනී යයි.

මේ කෘතියේ පහ සහ හය පරිච්ඡේද දෙක වෙන්ව ඇත්තේ මෙරට සමාජ ඉතිහාසයේ තවත් පැතිකඩක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ක්‍රි. පූර්ව තුන්වන සියවසේ බුදුසමය මෙරට ස්ථාපිත වීමත් සමඟ මෙරට ඇතිවූ සංඝ සමාජය හා රාජ්‍ය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව මෙන්ම මේ දෙපාර්ශවය අන්‍යොන්‍ය වශයෙන් දෙපාර්ශවයට ප්‍රයෝජනවත් වූ අයුරුත් දැකිය හැකි විය. මේ සම්බන්ධතාව හැම කල්හි ම එක ම ආකාරයකට නොවූ අතර එය වරින් වර විවිධාකාර ස්වරූපයන් ගනු දැකිය හැකි විය.

දුට්ඨගාමිණි, මහසෙන්, වලගම්බා ආදි අවධිවලට ඇති වූ තත්ත්වයන් පිළිබඳ ව මෙහි දීර්ඝ ලෙස විවරණය කර ඇත. මහා විහාර අභයගිරි අර්බුදය ඇතිවීමට බලපෑ හේතු සාධක විමසන විට අපේ පැරණි ඓතිහාසික මූලාශ්‍රවල එන විවරණයන් ඉතා ප්‍රවේශමෙන් පරිශීලනය කළ යුතුය. මහාවංශය, දීපවංශය, නිකාය සංග්‍රහය, වංසත්ථප්පකාසිනිය හා පූජාවලිය වැනි ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර උපයෝගී කරගනිමින් මහා විහාරය හා වෛතුල්‍යවාදීන් අතර පැවති අරගලය පිළිබඳ දීර්ඝ විවරණයක් සපයා ඇත.

පැරණි හා පූර්ව මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සංඝ සමාජය කෙරෙහි කුල භේදයේ බලපෑම නම් ලිපිය කතුවරයා විසින් 1960 දශකයේ සංස්කෘති සඟරාවට ලියූ ලිපියක් තවදුරටත් විමර්ශනාත්මක ව ලියන ලද රචනයකි. මෙම ලිපියෙන් බුදුසමය මෙන්ම ඉන්දියානු ප්‍රභවයක් ඇති ප්‍රකට සමාජ සංස්ථාවක් වන කුල භේදය ශ්‍රී ලාංකික සමාජයට මෙන්ම එහි වැදගත් අංශයක් වූ සංඝ සමාජයට සිදු කළ බලපෑම විවරණය කරයි. බුදුසසුනේ දක්නට ලැබෙන පරමාදර්ශි ස්වරූපය පිළිබඳ ව ද එය ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සමාජයට ඇතුළු වූ අයුරු ද පරීක්ෂා කර ඇත.

ඉන්දියානු සමාජය තුළ දක්නට වූ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය හා ශුද්‍ර යන ජන කොටස් මෙරට සමාජය තුළ කෙසේ පැවතියේ ද යන්න පිළිබඳ ව ඓතිහාසික සාක්ෂි පදනම් කර ගනිමින් සොයා බලා ඇත. පුද්ගලයකු පැවිදි දිවියට ඇතුළත් කරන විට සොයා බැලිය යුතු කරුණු පිළිබඳව විනය පිටකයේ එන විස්තර මෙහි විවරණය කර ඇත. එහෙත් ඒ අතර මතභේදයට තුඩු දෙන ජාති ගෝත්‍ර විමසීම පිළිබඳ ව මෙහි දී විශේෂ අවධානයක් යොමු කර ඇත. මේ නිසා මෙම ලිපිය පූර්ව යටත් විජිත යුගයේ ශ්‍රී ලාංකික සමාජයේ සමාජ සංස්ථා පිළිබඳව මෙන්ම සඟ සසුනේ සිදු වූ පරිණාමය පිළිබඳ ව ද හොඳ විවරණයකි.

මෙම කෘතියේ හත්වන පරිච්ඡේදය වශයෙන් ඇතුළත් ව ඇත්තේ මෙරට දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණ ඉතිහාස මහාචාර්යවරයකු වන ලෙස්ලි රණවීර ගුණවර්ධන මහාචාර්යතුමන් විසින් ලියා පළ කරන ලද සාරගර්භ පර්යේෂණ කෘතියක් වන සිවුර සහ නගුල නමැති කෘතිය පිළිබඳ ව අප මහාචාර්යතුමන් සැපයූ විවරණයකි.

මෙහි එන අට වන ලිපිය තරමක් වෙනස් ක්ෂේත්‍රයක් පිළිබඳ ව අවධානය යොමු කළ ලිපියකි. මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ ඓතිහාසික කරුණක් එහි විවරණය වෙයි. බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීම පිළිබඳ අදහස් නූතන ලෝකයේ වරින්වර අසන්නට ලැබෙන සංසිද්ධියකි. පැරණි ශ්‍රී ලාංකික සමාජය බොහෝදුරට ආගමික සහනශීලිත්වයක් සහිත සාමකාමී සහජීවන සමාජයකි.

එහෙත් මේ කෘතියේ විස්තර වන ආකාරයේ විරල අවස්ථා ද පැවති ඇති අයුරු දැකිය හැකිය. මාඝගේ ආක්‍රමණයේ පැවති දරුණුකම පිළිබඳව මනා අවබෝධයක් මේ ලිපිය කියවීමෙන් ලබා ගත හැකිය. එපමණක් නොව ඔවුන්ගේ නිර්දය ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා සහ ප්‍රභු ජන කොටස් පමණක් නොව භික්ෂුන් වහන්සේලාගේ ඥාතින් පවා ලක් වූ ආකාරය ද මෙහි විස්තර කර ඇත. එසේ ම මාඝ මෙසේ භික්ෂුන් වහන්සේලා පීඩාවට ලක් කිරීමට හේතු සාධක කෙරෙහි ද අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.

මෙහි අවසාන පරිච්ඡේදය එනම් නමවැනි පරිච්ඡේදය වෙනස් ම ආකාරයක ක්ෂේත්‍රයක් පිළිබඳ විවරණයකි. සීගිරිය බල කොටුවක් ද? සුබ නිකේතනයක් ද? යනුවෙන් සිදුකර ඇති ඓතිහාසික විවරණය ඉතා වැදගත් නිර්මාණයකි. මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් පළමු කොටසින් සීගිරියේ ඓතිහාසික පසුතලය විවරණය කර ඇත.

මෙසේ විවිධ පැතිකඩවල ඔස්සේ ශ්‍රී ලාංකික සමාජ ඉතිහාසය පිළිබඳ ව සිදු කර ඇති මෙම පර්යේෂණ ලිපි සංග්‍රහය තවදුරටත් සාර්ථක නිර්මාණ කාර්යක් වී ඇත්තේ එහි ශාස්ත්‍රීය කෘතියකට අවශ්‍ය ආශි‍්‍රත ග්‍රන්ථ සහ ලිපි ලේඛන නාමාවලිය හා සුචිය නිසාය. එසේ ම ආධුනික සාමාන්‍ය පාඨකයාට ප්‍රයෝජනවත් සිතියම් හා අනෙකුත් තොරතුරු ද මෙහි අන්තර්ගත කිරීමට අමතක කර නැත.

පැරණි ශ්‍රී ලාංකේය සමාජය තුළ පැවති විවිධ පැතිකඩ පිළිබඳ ව මහාචාර්ය අමරදාස ලියනගමගේ සූරින්ගේ දෘෂ්ටිය මේ කෘතිය පුරාම දැකිය හැකිය. එසේ අවධානයට ලක් වූ අංශ අතර ඉන්දු ලංකා සම්බන්ධතා, රාජ්‍ය හා ආගම අතර සම්බන්ධතාව, කුලභේදය හා සමාජ සංස්ථා හා ආගමික අසහනශීලිතාව යන අංශ විශේෂයෙන් අවධානය යොමු විය යුතු මාතෘකා වේ.

මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතාගේ මේ සාරගර්භ වටිනා ඓතිහාසික කෘතිය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට ඉතිහාස රචනය පිළිබඳ අගය සපයන කෘතියක් වශයෙන් මෙන් ම සාමාන්‍ය ජනයාට ද එකසේ වැදගත් වන කෘතියක් බව පෙන්වා දෙමින් එතුමා තම කෘතියට ලියා ඇති හැඳින්වීම අවසන් කරන කොටස මෙහිලා උපුටනු කැමැත්තෙමි.

“අතීත කථාවේ ඓතිහාසික යථාර්ථය අපක්ෂපාත මනසකින් වටහා ගැනීමෙන් සකල ලංකාවාසීන්ටම ප්‍රඥා ලෝකයේ ආශිර්වාදය ලැබෙනු ඇත.

ජනවාර්ගික ගැටුම් පවත්නා අවධියක එය අනිවාර්ය කාලීන අවශ්‍යතාවක් බවට පත්වෙයි.”

යූ. ඒ. ලාල් පන්නිල

ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති

රුහුණ විශ්වවිද්‍යාලය

~ by පොත් ගුල on January 24, 2011.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: