කතුන් තිදෙනෙක් එක් ව තැනූ ගඟ අද්දර

සුමිත්‍රා පීරිස්ගේ සිනමා භාවිතය හා සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය – ගැඹුරු සබඳතාවකි. ඇය නිර්මාණය කරන ලද සිනමාපට කිහිපයකට ම පාදක කොට ගෙන තිබුණේ නවකතා හෝ කෙටිකතා ය. මේවායේ ආ විශිෂ්ට ලක්ෂණ ද, කැපී පෙනෙන අංග ද ප්‍රකාශයට පත් වූයේ ඒකාකාර අන්දමින් නොවේ.

ස්වකීය දෙවන සිනමා නිර්මාණය සඳහා ලෙටීෂියා බොතේජු ලියූ ‘ගඟ අද්දර’ නවකතාව තෝරා ගැනීමට සුමිත්‍රා ගත් තීරණය ම සංවාදාත්මක ය. ‘ගඟ අද්දර’ විශිෂ්ට නවකතාවක් සේ නොසැලකෙන බව සත්‍යයකි. එසේම එය ලාංකික සාහිත්‍ය වංශය තුළ එන ප්‍රකට නවකතාවක් සේ හඳුනා ගැනීමට ද නුපුළුවන.

ලෙටීෂියා බොතේජු නවකතාකාරියක සේ ලාංකික නිර්මාණ සාහිත්‍ය විෂයයෙහි සිදු කළ මැදිහත්වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් වීමේ ඉඩක් නැත. ඇත්තෙන් ම ඇගේ නවකතා අරභයා අලුතින් ම සාකච්ඡාවක් ඇති වන්නේ සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ ‘ගඟ අද්දර’ සිනමාපටය නිසාවෙන්ම යි.

‘ගඟ අද්දර’ ට පෙරාතුව සුමිත්‍රා විසින් නිර්මාණය කරන ලද ‘ගැහැනු ළමයි’ සිනමා පටයට පාදක වූ කරුණාසේන ජයලත් එනමින් ම ලියූ නවකතාවත්, ඔහුගේ සෙසු නවකතාත් ලාංකික පාඨක සමාජය තුළ ඉහළ ප්‍රසාදයක් ලබා ගෙන ඇති බව පැහැදිලි ය.

සුමිත්‍රා ‘ගඟ අද්දර’ නිර්මාණය කිරීමෙන් අනතුරුව තෝරා ගත් ඇතැම් නවකතා ද, කෙටිකතා ද පාඨක අවධානයටත් විචාරක අවධානයටත් සෑහෙන පමණින් ලක් වූ බව බොහෝ දෙනෙකු ගේ පිළිගැනීම යි. කෙසේ වෙතත් ‘ගඟ අද්දර’ නවකතාව සිනමාවට නැඟීමේ තදබල වුවමනාවක් සුමිත්‍රාට නොතිබූ බව ද පෙනේ. ‘ගඟ අද්දර’ නිර්මාණය කොට වසර 30 ක් පමණ ගත වූ පසු ඇය පවසන්නේ ‘ගඟ අද්දර’ නවකතාව කියවා තිබුණ ද එය සිනමාවට නැඟීමේ කිසිදු කැමැත්තක් තමා තුළ නොතිබූ බවයි.

එහෙත් තිස්ස අබේසේකර ලියූ තිරනාටකය ‘ගඟ අද්දර’ නවකතාව සිනමාවට නැඟීම සඳහා තමාව පෙලඹ වූ බව ද ඇය කියා සිටී.

(එවන් වෘත්තිකයකු අපේ සිනමාවේදී යළි හමු නොවේවි, සරසවිය, 2009.04.23)

ඉන් පෙනී යන්නේ තිස්ස අබේසේකර, ‘ගඟ අද්දර’ සිනමා පටය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. මේ වන විට තිස්ස ලාංකික සිනමාවේ විශිෂ්ටතම සිනමාපට කිහිපයක් සඳහා ම තිර නාටක රචනා කොට තිබිණ. ඒ අතර ‘නිධානය’ තිර නාටකය ද විය. එසේම ඔහුගේ ප්‍රථම නිල වෘත්තාන්ත සිනමා පටය වන ‘කරුමක්කාරයෝ’ ප්‍රදර්ශනයට මුදා හැරෙන්නේ ද ‘ගඟ අද්දර’ට සමගාමීව යි.

දීර්ඝ කාලීන අත්දැකීම් තිබුණ ද සුමිත්‍රා මේ වන විටත් නවක සිනමාකාරියක වූවා ය.

නිෂ්පාදිකාවගේ ඇරියුම පරිදි යි තිස්ස ‘ගඟ අද්දර’ තිර නාටකය රචනා කරනු ලැබ ඇත්තේ. ‘ගඟ අද්දර’ නවකතාව හා සසඳන කල්හි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘හිඟන කොල්ලා’ වඩා හොඳ බව තිස්ස ගේ අදහස යි. ඒ අනුව මෙතරම් දුර්වල නවකතාවකින් තිරනාටකයක් ලියන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය තමාට ඇතිවූ බව ද ඔහු නොසඟවා පවස යි. (කලා, 1989.01.10)

‘ගඟ අද්දර’ නවකතාවේ ස්වභාවය ගැන කදිම විවරණයක් ඒ අදහස ගෙන එන බව පෙනේ. ඇත්තෙන් ම ‘ගඟ අද්දර’ වෙහෙසකර වදන් සහිත දිගු වැකි අන්තර්ගත, වැල් වටාරම් ද එක්කළ නවකතාවක් බව පළමු කොට ම දැක ගත හැකිය. එහි මුල් වැකිය මුල් පිටුව ද ඉක්මවා යයි. වර්ණනා කිරීම්වල සීමා බොහෝ ඈතට දිව යයි. ඒවා මූලික පුවතට ප්‍රබල ආලෝකධාරා එල්ල නොකරන තරම් ය. සමකාලීන පාඨකයා කෙසේ වතුදු පසුකාලීන පාඨකයා නම් මෙබඳු ලක්ෂණ පිළිගන්නට මැළි වෙයි.

කෙසේ වුවද ‘ගඟ අද්දර’ සුමිත්‍රා පීරිස් ගේ සිනමා භාවිතය තුළ පමණක් නොව පොදුවේ ලාංකික සිනමාව විෂයයෙහි ද යම් අවධානයකට ලක් වන සිනමා පටයක් වේ. මේ සඳහා උර දුන් අය අතරින් තිස්ස අබේසේකර ප්‍රධාන ය. දුර්වල නවකතාවක් මුල් කර ගෙන විචාරක – පේ‍්‍රක්ෂක අවධානයට සෘජු ව පාත්‍ර වන තිරනාටකයක් ලිවීමේ දුෂ්කර අභියෝගය ජය ගන්නට තිස්ස සමත් ව ඇත. මෙයින් පෙනී යන්නේ ‘ගඟ අද්දර’ සිනමා පටය සුමිත්‍රාගේ සේම තිස්සගේත් පෙරට ඒමක් බව ය.

කලාත්මක ගුණාංග මුල් කර ගත් සිනමාව පුද්ගලයා හා සමාජය නොයෙක් තේරුම් සහිත ව විශද කරයි. නව ඥානයක්, පෙර නොවූ ජීවිතාවබෝධයක් රසිකයාට ලබා දෙයි. එසේම කලාත්මක ගුණාංග මුල් කර ගත් සිනමාව ජීවිතයේ අඳුරු අහුමුළු – ගූඪ ප්‍රදේශ විනිවිද දකින්නට ද සමත් ය. ‘ගඟ අද්දර’ නෑකම් කියන්නේ මේ දෙවන ආකාරයේ සිනමා භාවිතයට යි.

මෙතැනදී වහා පැමිණෙන්නේ අඳුරු – සංකීර්ණ රූප රාමු පෙළක අවශ්‍යතාව බව පෙනේ. එහෙත් තිස්සගේ තිර නාටකය මත රැඳෙමින් සුමිත්‍රා උත්සාහ කරන්නේ අතිශය විචිත්‍ර – වර්ණවත් රූප රාමු නිර්මාණය කරන්නට ය. සුමිත්‍රාගේ සිනමා භාවිතයේ මූලිකාංග මෙතැනදී ද දිස් වේ. වසර ගණනාවක් තිස්සේ ම ඇය රැඳී සිටින්නේ මේ පිළිවෙත මත යි.

සුමිත්‍රා පි‍්‍රය කරන මේ රූප භාවිතය යථාර්ථය වසං කරවන මායා දැලක් ය යන අදහස් තවමත් පවතී. එසේම එය ජීවිතයේ අඳුරු අහුමුළු – ගූඪ ප්‍රදේශ ස්පර්ශ කරන්නට – කියවන්නට ඉඩ සැලසෙන මගක් ය යන අදහස ද තවමත් පවතී. මේ සංවාදයේ එක් උච්චතම අවස්ථාවක් වන්නේ ‘ගඟ අද්දර’ යි.

සුමිත්‍රාගේ මේ රූප නිර්මාණය දෙයාකාරයකින් දත හැකි වේ. එක් ආකාරයක් වන්නේ චරිත හා අදාළ පරිසරය රූපයට නැඟීම යි. අනෙක් ආකාරය වන්නේ එම රූප පෙළ ගැස්වීම යි. නවක සිනමාකාරියක වුවද සුමිත්‍රා මේ ආකාර දෙකට ම යුක්තිය ඉටු කරලන්නට පසුබට නොවන බව පෙනේ. මෙහිලා ඇයට පිටිවහලක් වන්නට ඇත්තේ සංස්කරණ ශිල්පිනියක සේ ලද අත්දැකීම් විය යුතු ය. ‘ගඟ අද්දර’ හි සංස්කරණ උපදේශකත්වය සපයන්නේ ද ඇය යි.

‘ගඟ අද්දර’ වර්ණ සිනමාපටයක් වීම සුමිත්‍රාට අමතර වාසියකි. මෙතැනදී ඇය කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න හා කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන සමඟ ගනුදෙනු කරන්නේ සූක්ෂම ආකාරයෙනි. ඩොනල්ඩ් ඒ වන විට ප්‍රකටව සිටියේ ධර්මසේන පතිරාජ ප්‍රමුඛ සිනමාකරුවන් දෙතුන් දෙනෙකුගේ කළු – සුදු සිනමාපට සඳහා උපරීම සාධාරණයක් ඉටු කළ කැමරා ශිල්පියා ලෙසිනි. එම අදහස ජනිත නොවන පරිදි හේ ‘ගඟ අද්දර’ රූප ගත කොට ඇත.

ඩී. බී. වර්ණසිරි පවසන්නේ වෙනත් වර්ණ සිනමාපට සතු දැඩි වර්ණ සංයෝජනය හා ‘ගඟ අද්දර’ සිනමා පටයේ චරිත අඳින පලඳින දෑ මෙන් ම පරිසර පසුතලය එකට පෑස්සෙන අයුරින් ඉතා ම සියුම් වර්ණ චිත්‍රයක් නිර්මාණය කර ගන්නට සුමිත්‍රා හා ඇගේ නිර්මාණ කල්ලිය (ඩොනල්ඩ් කරුණාරත්න හා හේමපාල ධර්මසේන) සමත් ව ඇති බවයි.

(අපද කැටුව ගඟ අද්දරින් එතෙරට, දෙසතිය, 1980.08.15 පි. 20)

රූප රාමු පෙළ ගැස්වීමේ දී සුමිත්‍රා අනුගමනය කරන රීතිය සුමට ය. ගොරහැඩි, රළු බවක් ඇත්තේ ම නැත. රසිකයා හා සිනමා පටය අතර සෘජු – සමීප සබඳතාවකට එය මහෝපකාරී වේ.

සුමිත්‍රාගේ සිනමා භාවිතයේ එන වැදගත් ම අංගයක් වන්නේ ස්ත්‍රී චරිත මුල් කර ගැනීමට දරන තැත යි. එතැනදී ද ඇගේ වැඩි අවධානයකට ලක් වන්නේ පීඩිත ස්ත්‍රී චරිත ය. මේ පීඩිත බව විවිධාකාර බව පෙනේ. ආර්ථික, සමාජ හා දේශපාලනික වශයෙනි. ආධ්‍යාත්මික වශයෙනි.

ස්ත්‍රිය සතු දරා ගැනීමේ හැකියාව, දයාව, කරුණාව, ආදරය පළ කරන ආකාරය සේම එඩිතර බව ද සුදුසු පරිදි උද්දීපනය කරන්නට ඇය මැළි නොවෙයි.

‘ගඟ අද්දර’ නවකතාව යම් විශේෂත්වයක් ප්‍රකට නොකරමින් මතු පිට පුවත ඉක්මවා නොයන්නේ කතා රසය සඳහා ම මුල් තැනක් දෙන්නට ලෙටීෂියා බොතේජු උත්සාහ කරන හෙයිනි.

ඉඩම් හිමි ධනවතකුගේ එක ම දියණිය නිර්මලා ය. ඇගේ පෙම් සබඳතාවට පියා කැමති නොවේ. පියාගේ බල කිරීම නිසා ඇයට සිදුවන්නේ එතෙර සිට ආ ධනවත් නීතිඥයකු හා විවාහ වන්නට යි. ඇත්තෙන් ම ඔහු එතෙරදී විවාහ වූවෙකි. සුදු ජාතික බිරිඳ ඔහු සොයා එයි. මේ අත්දැකීම විඳ ගත නොහැකි නිර්මලා උමතු වෙයි. ඇයව සුවපත් කරන්නේ තරුණ වෛද්‍යවරයෙකි. කෙසේ වුවද අවසන නිර්මලා, පෙම්වතා පිළිබඳ සිතිවිල්ලෙන් ජීවිතක්ෂයට පත් වෙයි.

සුමිත්‍රා මේ සරල පුවතට නව අගයක් ලබා දෙන්නේ නිර්මලාගේ චරිතයට නිශ්චිත වටිනාකමක් ද, සජීවී බවක් ද ලබා දෙමිනි. ඒ නවකතාවේ ආ සීමා බැහැර කොට ය. ස්ත්‍රියකගේ පීඩිත බව කවර සමාජ පන්තියක දී වුව ඉස්මතු විය හැකි බව සුමිත්‍රා හඬ නොනගාම පවස යි. වසන්ත ඔබේසේකර හා ධර්මසිරි බණ්ඩාරනායක සමකාලීනව නිර්මාණය කළ සිනමාපට හා සැසඳීමේ දී මේ බව වඩා හොඳින් සහතික කර ගත හැකිය.

පාදක වූ පුවත පැරැණි වුවත්, එහි සර්වකාලීන ගුණාංග තිබු බව ඇය පවසන්නේ ඒ නිසයි. (සරසවිය, 1999.08.05)

‘ගඟ අද්දර’ මහජන ප්‍රදර්ශනයට එක් වූයේ වර්ෂ 1980 දීය. ඉන් වසර නවයකට පමණ පසුව සුමිත්‍රා කියා සිටින්නේ තමා අද ජීවත්වන – බොහෝ සෙයින් දුක් විඳින, පරාජය වන ගැහැනුන් ගැන සිනමාපට නිර්මාණය කරන බව ය. (සරසවිය, 1989.06.22)

ඒ වන විට ඇය ‘ගඟ අද්දර’ ඇතුළු සිනමාපට 05 ක් නිර්මාණය කොට තිබිණ. නිශ්චිත කාරණා තුනක් මෙතැනදී ඉස්මතු වෙයි.

පළමු කාරණය වන්නේ සුමිත්‍රා දෙගිඩියාවකින් තොරව ම සරල – නොගැඹුරු හා එපමණ විචාර – ප්‍රතිචාර සඳහා ලක් නොවූ නවකතා ඇසුරු කර ගන්නට දරන කැමැත්ත යම් ප්‍රතිපත්තියක ලක්ෂණ පෙන්නුම් කිරීම ය.

දෙවැන්න වන්නේ ඒවාහි ඇති සමහර මූලිකාංග ප්‍රවර්ධනය කරන්නට ඇය දක්වන උනන්දුව ය.

තෙවැන්න වඩාත් වැදගත් ය. ඇත්ත වශයෙන් ම එය ඉහත කාරණා ද්විත්වයේ ම දිගුවක් ද වේ.

එනම් ස්වකීය අරමුණු හා සැසඳෙන පරිදි අදාළ පුවතේ මතුපිට රූපත්, අභ්‍යන්තර රූපත් යළි සකසන්නට හා ඒවාට නව අරුත් දෙන්නට පසුබට නොවීම ය.

එදා ගඟ අද්දර චිත්‍රපටයේ ගීත
පටිගත කරද්දී…

ඒ අනුව සුමිත්‍රා ‘ගඟ අද්දර’ සිනමාපටය රැගෙන යන්නේ 1920 දසකය කරා යි. වරක් ඇය කියා සිටියේ ‘ගඟ අද්දර’ නවකතාවට 1950 දසකය පාදක වූ බව ය. (සරසවිය, 1999.08.05)

1920 දසකය සිහි ගන්වන්නට ඇවැසි දෑ නිවැරැදි ව සපයා ගන්නටත්, නිවැරැදි ව නිරූපණය කරන්නටත් සුමිත්‍රා සමත් වන්නේ පුරුෂ මූලික සිනමා අධ්‍යක්ෂණය ද යම් අභියෝගයකට ලක් කරමිනි. ඇත්තෙන් ම ‘ගඟ අද්දර’ අදටත් මතක හිටින සිනමා පටයක් වන්නේ මේ ප්‍රතිනිර්මාණ සමත්කම ද නිසා යි. නවකතාවේ කූට ප්‍රාප්තිය වන්නේ නිර්මලා පාරුවක නැඟ ගඟෙන් එගොඩ වද්දී ගඟට පැන දිවි තොර කර ගැනීම ය. අනතුරුව ද නවකතාව දිග හැරේ. එය පාඨකයා අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කිරීමක් ද විය හැකිය.

එහෙත් සිනමාපටයේ දී සුමිත්‍රා තීන්දු කරන්නේ අන් ආකාරයක කූට ප්‍රාප්තියකින් නතර වන්නට යි. ඒ අනුව පෙම්වතාගේ ඡායාව පසුපස හඹා යන නිර්මලා ගඟට වැටී මිය යන ආකාරය නිරූපණය කෙරේ. එය දිවි නසා ගැනීමක අදහසක් ද ගෙන එයි. එය සිදුවන්නේ ඇගේ උමතු බව තවමත් තුරන් නොවූ බව හඟවමිනි.

‘ගඟ අද්දර’ හි මුල් ප්‍රදර්ශනය සිදු වන්නේ ලාංකික සිනමාවේ කර්මාන්තමය පදනම ශීඝ්‍රයෙන් දුර්වල වී ගෙන ගිය සමයක ය. අපේක්ෂිත හෝ ප්‍රමාණවත් ආදායම් උපයා ගත හැකි නොවූ සිනමාපට ගණනාවක් ම මෙකල ප්‍රදර්ශනය කෙරිණ.

දුර්වල යැයි කියූ නවකතාවක් ඇසුරු කොට ගත් සාර්ථක වීම් සහිත සිනමාපටයක් වූ ‘ගඟ අද්දර’ ලබා ගත්තේ එබඳු ප්‍රතිචාර නොවේ. මුල් වටයේ සිනමා ශාලා ගණනාවකම ‘ගඟ අද්දර’ දින 50 ඉක්මවා ප්‍රදර්ශනය වූ බවයි පැවසෙන්නේ.

(චිත්‍රපට වාර්ෂිකය, 31, 32, 33, පි. 975)

~ by පොත් ගුල on January 4, 2011.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: