ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ ගොඩපවත සෙල්ලිපිය

ශ්‍රී ලංකාවේ පැරැණි පාලකයෝ එකල මෙරට පැවැති සිරිතකට හෝ සාම්ප්‍රදායකට හෝ අනුව යමින්, තමන් විසින් කරනු ලැබූ ආගමික, සාමාජීය, සංස්කෘතික සහ ආර්ථික මෙහෙවර මතු අනාගත පරපුරේ දැන ගැනීම සඳහා ශෛලමය ස්ථරවල සටහන් කර තැබූහ. ඒ සටහන් නොහොත් අභිලේඛන වර්තමානයේ දී ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි සහ පුවරු ලිපි ආදී වශයෙන් හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ, මාගම්පත්තුවේ, ගෝඨපබ්බත රජමහා විහාරයේ දක්නට ඇති ‘ගොඩ පවත සෙල්ලිපිය’ ද එවැනි ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත් කමකින් යුක්ත අභිලේඛනයකි.

ශ්‍රී ලංකාවේ දෙවන පුරා විද්‍යා කොමසාරිස්වරයා වූ ඊ.ආර්. අයර්ටන් මහතා (1912 – 1914) දකුණු පළාතේ, කරන ලද නිල සංචාරයකදී මේ ගොඩවාය වරාය ආශ්‍රිත ප්‍රදේශයේ නටබුන් පරී්කෂා කරන ලදී. එහිදී ඔහු විසින් මේ ප්‍රදේශයේ තිබී සෙල්ලිපි කිහිපයක් සොයාගනු ලැබුව ද, ඔහු මියයන තෙක් ම මේ සෙල්ලිපි ප්‍රසිද්ධියට පත් නො කෙරිණි. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1930 දී මේ සෙල්ලිපි ප්‍රකාශයට පත් කර ලේඛනගත කරන ලදී.

පැරැණි වරායක ස්වරූපය

මේ ගොඩවාය වරාය (ගොඩපවත පටන) පිහිටා ඇත්තේ, ගෝඨපබ්බත විහාරයට ආසන්නව ය. ස්වභාවික ව ගල්වලින් වට වූ දියකඩනයක් සහිත මුහුදේ පිහිටි මේ ස්ථානය පැරැණි වරායක ස්වභාවය උසුලයි. මෑතදී මෙහි තිබී සොයාගත් ගල්කණු, පැරැණි නාවික වරායක ජැටියක් බවට අනුමාන කළ හැකි ය. වලවේ නිම්නයේ දී හමුවුණු රතුරබහ, යකඩ සහ වානේ යනාදී වෙළෙඳ භාණ්ඩ නැව් ගත කරන ලද්දේ මේ නැව් තොටින් බව ද, මේ වරාය ආශ්‍රිත ප්‍රදේශයේ තිබී පැරැණි රෝම කාසි වර්ග හමුවී ඇති බව ද පැවැසේ. මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත මේ ප්‍රදේශය පරීක්ෂා කිරීමේ දී අයර්ටන් මහතා විසින් ගෝඨපබ්බත රජමහා විහාරයේ දක්නට ඇති ගොඩවාය සෙල්ලිපිය සහ තවත් සෙල්ලිපි කිහිපයක් මෙසේ සොයාගනු ලැබී ය.

“සිද්ධම්! ගොඩපවත පටනවා සුබ සුරියි රජ ගාමිණි අගය විරහට දිනි” යනුවෙන් සඳහන් ව ඇති මේ ගොඩපවත සෙල්ලිපිය පළමුවන ගජබාහු රජතුමා (ක්‍රි.ව. 114 – 136) විසින් පිහිටුවනු ලැබූවකි. එයින් හෙළිවන පුවත නම්, මේ ගොඩවාය වරායෙන් අයකරනු ලබන තීරුබදු ආදායමෙන් ;කාටසක් ගොඩවාය විචාරයේ නඩත්තුව සඳහා වැය කළ යුතු බවයි.

මේ සෙල්ලිපියෙන් වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වේ. එය පහත දැක්වෙන අංශ යටතේ වර්ග කළ හැකි ය.

1. දේශපාලන – පැරැණි ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධීනත්වය පිළිබිඹු කිරීම. (තීරුබදු අයකර ගත හැක්කේ ස්වාධීන රාජ්‍යයකට පමණි)

2. ආගමික – තීරුබදු ආදායමින් කොටසක් ආගමික ආයතනවල නඩත්තු සඳහා වැය කළ යුතු බව.

3. ආර්ථික – භාණ්ඩ හා සේවා අපනයන කිරීමෙන් රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීම

4. වාණිජමය – මුහුදු සේද මාර්ගයේ පිහිටි, වැදගත් නාවුක මධ්‍යස්ථානයක් වීම. (ආනයන, අපනයන සහ අන්තරාල වෙළෙඳාම මෙහිදී සිදුවීම)

5. සංස්කෘතික – සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනය කරනු ලබන පන්තියක් මාගම්පුරය අවට ප්‍රදේශයේ බිහිවීම (චීන, පර්සියන් පිඟන් භාණ්ඩ, රෙදි පිළි භාවිතා කෙරෙනු සුපිරි නිවාස හිමි පැලැන්තියක් බිහිවීම

මුහුදු සේද මාර්ගයේ සැරිසරමින්, චීනයේ සිට රතු මුහුද දක්වාත්, එතැනින් මධ්‍යධරණී පෙදෙස්වලට සංක්‍රමණය කරනු ලබන නෞකාවල ගමන් කළ විදේශිකයන් සිය ගමන් විඩාව සඳහා නවාතැන් ගත්තේ මේ රුහුණේ ගොඩවාය නගරයේ ය. ඒ අනුව ගොඩවාය අන්තර්ජාතික වාණිජ වරායේ වැදගත්කම මැනවින් පැහැදිලි ය.

මාගම්පුර ජගත් වරාය

මේ ගොඩවාය සෙල්ලිපිය 12 වන සියවසේ දී පිහිටුවනු ලැබුව ද, එය ප්‍රකාශයට පත් කෙරුණේ 1930 දී ය. එනම් මෙරට බ්‍රිතාන්‍ය පාලනයට යටත් අවධියේ ය. 1948 දී අපි අර්ධ වශයෙන් ද, 1972 දී පූර්ණ වශයෙන් ද නිදහස ලබාගත්තෙමු. 1948 සිට මෙරට විවිධ ආණ්ඩු ඇතිවි ය. විවිධ රාජ්‍ය නායකයෝ මෙරට පාලනය කළහ. එසේ වුව ද මේ ඓතිහාසික ගොඩපවත සෙල්ලිපියෙහි අගයත්, එයින් දෙනු ලැබූ පණිවුඩයත්, මැනවින් අවබෝධ කරගත් එකම රාජ්‍ය නායකයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණි. එහි අර්ථ පූර්ණ ප්‍රතිඵලය වූයේ 2010 දී ඉදි කෙරෙනු, මාගම්පුර අන්තර්ජාතික නෞකා වරායයි. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මඟ සංවර්ධන මාවතකට යොමු කෙළේ ය. මෙය සියලු ලක්වැසියන් විසින් අගය කළයුත්තකි.

පැරැණි ශ්‍රී ලංකාවේ පැවැති ස්වයංපෝෂිත අර්ථක්‍රමය, යුරෝපීය ජාතීන් තුන් වර්ගයක පාලනසමයෙන් අහෝසි වී ගොස් ඇත. වර්තමානයේදී අපරට හුදෙක් සංවර්ධන රටවලට අමුද්‍රව්‍ය සපයන්නකු බවට පත්ව ඇත. මේ සංකල්පයෙන් මිදී පුරාණයේ මෙන් අප ද නිමි භාණ්ඩ අපනයනකරුවකු බවට පත් විය යුතුව ඇත.

අන්තර්ජාතික වෙළෙඳාම

ශ්‍රී ලංකාව 1977 සිට මේ දක්වා අඛණ්ඩ ව ගෙවුම් ශේෂ හිඟයකට මුහුණපා ඇත. යම් රටක විදේශ සංචිතය මාස 3 ක ආනයන සඳහා ප්‍රමාණවත් නොවේ නම්, ගෙවුම් ශේෂ අර්බුදයක් ඇති බව පොදු පිළිගැනීමයි. මෙය ඉතා සරල ව පවසන්නේ නම්, අප රට අන්තර්ජාතික වෙළෙඳාමෙන් 1977 වර්ෂයේ සිට නොකඩවා පාඩු ලබන බව ය. ගෙවුම් ශේෂයේ හිඟය පියවා එය වාසිදායක බවට හරවා ගත හැකි වන්නේ අපගේ අපනයන ආදායම වැඩිකර ගැනීමෙන් සහ ආනයන වියදම අඩුකර ගැනීම මත ය. අපනයන ආදායම වැඩි කර ගැනීම සඳහා විවිධ උපායමාර්ග අප විසින් අනුගමනය කළ යුතු ව ඇත. අලුතින් බිහි කෙරුණු මාගම්පුර අන්තර්ජාතික වරායෙන් අපගේ රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට සැලසුම් කළ යුතුව ඇත. එසේ ම එය අප විසින් ම නිර්මාණය කරනු ලබන සංවර්ධන සැලැස්මක් විය යුතු ය.

අතීතයේදී මේ ගොඩවාය වරායෙන් අමුද්‍රව්‍ය පමණක් නොව මෙරට වානේ වලින් නිෂ්පාදිත භාණ්ඩ පවා අපනයනය කර ඇත. ශ්‍රී ලංකාවේ නිපදවූ අනර්ඝතම වානේ ලොවට හඳුන්වා දුන්නේ ද ඓතිහාසික ගොඩවාය වරායෙනි. එය (10) දහවන සියවසටත් පෙර සිට ය. බටහිර යුරෝපීය රටවල කාර්මික විප්ලවය ඒ වනවිට සිදුවී නොමැත. වර්තමානයේ අප, මේ වරායට පැමිණෙන නැව්වලට සේවා සැපැයීම, අමුද්‍රව්‍ය අපනයන කිරීම ආදිය සිදු කිරීමෙන් පමණක් සෑහීමට පත් නොවී, පැරැණි පාලකවරුන් මෙන් නිමි භාණ්ඩ අපනයන කරුවකු බවට පත්විය යුතු ය. වර්තමාන ගෝලීයකරණයේ දී අනෙකුත් අසල්වාසී රටවල් මෙන් ම අප ද නිමි භාණ්ඩ අපනයනයට ප්‍රවේශ විය යුතු ය. සැබෑ සංවර්ධන ඉලක්කයක් වෙත ළඟාවිය හැක්කේ ද ඒ ආශ්‍රයෙනි.

පළමුවන ගජබාහු රජතුමා සිය මෙහෙවර ශිලා පුවරුවේ සටහන් කර තැබීමෙන් සිය යුතුකම ඉටු කොට ඇත.

බ්‍රිතාන්‍ය ජාතික ඊ.ආර්. අයර්ටත් පුරා විද්‍යාඥයකුගේ කාර්යය මැනවින් ඉටු කෙළේ ය.

වර්තමානයේ දී අප, අපගේ කාර්යය ඉටුකළ යුතුව ඇත.

ගොඩපවත සෙල්ලිපියෙන් අපට උගත හැකි පාඩම එයයි.

ශාස්ත්‍රපති
රුවන්පුර සැම්සන් ද සිල්වා

~ by පොත් ගුල on December 15, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: