සිංහල නවකතාවේ සක්විති ඩබ්. ඒ. සිල්වා

කොළඹ නගරයේ මද්දහනේ පදික වේදිකාවේ ඇවිද යන තරුණයෙකි. සුදු කොට කලිසමකින් ද අත් කොට කමිසයකින් ද සපත්තු යුගලකින් ද හෙතෙම සැරසී සිටී. උරයක පොත් ගොන්නකි. එහි බර දැනෙයි. පොත් කඩයෙන් කඩයට ගොඩ වෙමින් ගිය තරුණයා එක් සාප්පුවකට ගොඩ වැදී සාප්පු හිමියාට පොතක් දිගු කර පෙන්වයි.

“මොකක්ද පොත?” පොතට හරි හමන් බැල්මකුදු නොදුන් සාප්පු හිමියා විමසයි.

“නවකතාවක්” තරුණයා කියයි.

“මොකක්ද නම?”

“සිරියලතා”

“සිරියලතා? කර්තෘ? කවුද ලියල තියෙන්නෙ?”

“මම” යැයි ක්ෂණික පිළිතුර දුන් තරුණයා දෙස යටැසින් බැලූ කඩහිමියා “එහෙනම් ඔහේ වගේ ම ඇති” යැයි ඕනෑවට එපාවට කියමින් තම වැඩෙක යෙදෙන්නට වූයේ ය.

පදික වේදිකාවට බට තරුණයා යළිත් පොත් සාප්පුවකට ගොඩ වැදුණේ ය. තරුණයා දිගු කළ පොත අතට ගෙන පිටු පෙරළා බලනු දුටු තරුණයා මෙසේ කියන්නේ,

“මුදලාලි මෙතන පොත් දුසිම් තුනක් තියෙනවා. දැන් සල්ලි එපා. මම ලියලා මගේ වියදමින් අච්චු ගැහැව්වා. විකුණල සල්ලි දෙන්ඩ”

සාප්පු හිමියා කිසිත් නොදොඩමින් පොත් දුසිමක් අලෙවියට ගත් කළ, ඇවිටිල්ලෙන් ඉතිරි දුසිම් දෙක ද ඔහුට බාර දුන් තරුණයා ස්තුතිය පළ කොට ආපසු යන්නට වූයේ ය.

“දැන් පිට වුණා. අලුත් ම නවකතාව සිරියලතා”

සාප්පු හිමියා එසේ පුවත්පතක දැන්වීමක් පළ කළේ ය. ‘සිරියලතා’ ට ලැබුණේ ලොකු ඉල්ලුමකි. ඒ සමඟ ම ඔහුගේ නවකතාව අලෙවි කරදීමට ප්‍රතික්ෂේප කළ සාප්පු හිමියෝ ඔහුගේ පොත් ඉල්ලා තැපැල් පත් එවූහ. ඇතැමුන් නිවසට ම පැමිණ සමාව යැද තමන්ටත් පොත් දෙන ලෙසට ආයාචනා කළහ. ඔවුනගේ බසට නොවේ මේ තරුණයා කන් දුන්නේ. ඒ සමඟ ම ‘සිරියලතා’ ලියූ කර්තෘ ගේ නම ද රටපුරා කතා බහට ලක් වූයේය.

කතා රජු, සිංහල නවකතා සක්විති යන විරුදාවලියෙන් පිදුම් ලැබූ මේ තරුණයා ඒබ්‍රහම් සිල්වා නොහොත් ඩබ්ලිව්.ඒ. සිල්වා ය.

කුඩා අවදියේ සිට ම ලේඛන කලාවේ සහජ කුසලතාවය මොනවට විදහා දැක්වූ එතුමා සාහිත්‍ය ලෝකයේ අසහාය පඬිවරයකු, වියතකු ලෙසින් සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත භාෂාවන්හිද ව්‍යාකරණයේ ද පරිණත ප්‍රතිභාව උසස් අන්දමින් ප්‍රකට කළේ ය. මේ වියතාණන්ගේ බුද්ධි මහිමය පසක් කරදෙන යටගිය සත්‍ය පුවතක් ද සිහි නැඟෙයි.

පාසලේ ප්‍රාථමික පන්තියේදී සිංහල බස ඉගැන්වූ ගුරු හිමිනම පොල් ගස ගැන රචනාවක් ලියන ලෙසට ළමුනට කීහ. රචනාව ලියූ ළමෝ ගුරු හිමියන්ගේ පැසසුම බලා සිටියෝ ය. ‘පොල් ගස තාල වර්ගයට අයත් ගසකි. පොල් ගසින් තවත් ගසක් උපදී. ඒ නම් මෝල් ගසයි’ එය ලියා තිබූ දරුවාගේ ලිවීමේ නුවණ ගැන අතිශයින් පැහැදුණු ගුරු හිමියෝ දරුවාගේ හිස අත ගා ආශිර්වාද කළහ.

ඩබ්ලිව්.ඒ. සිල්වා උපන්නේ ජීවත්වූයේ අගනුවරට නුදුරු වැල්ලවත්ත ග්‍රාමයේ ය. ඔහුට ම අයත් නිවාස දෙකක් තිබිණි. ‘සිල්වමියර්’ නිවස වැල්ලවත්තේ ය. අනික දියතලාවේ ‘දිනුක්’ නිවාඩු නිකේතනයයි. සොහොයුරන් දෙදෙනකුට මැදි ව මධ්‍යම පන්තික පවුලක උපන් එතුමා කුඩා වියේ සිට ම අතට හසුවන සෑම පොතක් ම උනන්දුවෙන් කියවන්නට පුරුදු ව සිටියේ ය. ස්වෝත්සාහී බවින් පිරිපුන් බව නිසා ම නෛසර්ගික ව පිහිටි ඥාන ශක්තිය ද භාෂාමය ප්‍රවීණත්වය ද සාහිත්‍ය ජීවිතයේ මනා පෝෂණයට ඉවහල් විණි.

කොළඹ, බේලි වීදියේ පිහිටි පවුලේ ව්‍යාපාරික ස්ථානයේ ලිපිකරුවකු ලෙසින් කටයුතු කරමින් සිටිය දී ම ඔහු පළමු නවකතාව ලියුවේ ය. 1909 දී ලියන ලද සිරියලතා 21 වන පරිච්ඡේදය අග දී ඔහුට මඳක් ලේඛන කලාවෙන් මිදෙන්නට විණි. ඒ සිය පියාගේ අභාවයෙනි. වජිනානන්ද නම් සොලී තාපසවරයකු ගේ බලවත් උනන්දුව නිසා ම නැවතත් සිරියලතා ලිවීම ඔහු ආරම්භ කළේ ය.

අඩ සියවසක දීර්ඝ සාහිත්‍ය සේවයට එතුමා එළැඹෙන්නේ ඒ අයුරිනි. මේ අතරේ දී ‘ලක්මිණි පහන’ නම් පුවත්පත සාහිත්‍යකාමීන් අතර බෙහෙවින් ප්‍රචලිත ව පැවැතියේ ය. එහි කර්තෘ පදවිය ඉසිලූයේ පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ විචක්ෂණයකු වූ ධර්මරත්න පඬිවරයා ය. ලක්මිණි පහනේ පළවූ බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම් පිළිබඳ විවාදාත්මක ලිපි පෙළට සිල්වා ශූරීන් ගේ සාරවත් ලිපි ද එක්විණි. ඒ ලිපි පළ කරමින් සතුටට පත් වූ කර්තෘවරයා නිවාඩු ලත් විටෙක පැමිණ තමන් හමුවන ලෙසට ඔහුට තැපැල්පතක් යැවීය.

කොට කලිසමකින් හා අත්කොට කමිසයකින් සැරසී කර්තෘ හමුවට පැමිණි ඩබ්ලිව්. ඒ. සිල්වා තැපැල් පත කර්තෘ මහතාට දිගු කළේ ය. එය දුටු කර්තෘ මහතා ඩබ්ලිව්.ඒ. සිල්වාට එන්න කියන්නැයි කීවේ ය. ‘ඒ මම’ යැයි හෙතෙම කියා සිටිය දී කර්තෘ මහතා උඩ බිම බලා මොහොතකට පසු වාඩිගන්නා ලෙසට අසල පුටුවක් පෙන්වා කීවේ ය. මේ යෞවනයාගේ ලේඛන ප්‍රතිභාව ගැන මහත් සේ පැහැද සිටි කර්තෘ මහතා සංස්කෘත පාලි භාෂා ප්‍රගුණ කරන ලෙසට උපදේශයක් ද දී වජිරාරාමාධිපති පැලෑනේ වජිරඥාන නාහිමියන් බැහැ දකින ලෙසට ලිපියක් ද ලියා දුණි.

නොපමාව වජිරඥාන නාහිමියන් බැහැ දැකුමට ගිය සිල්වා තරුණයා උන්වහන්සේ ගෙන් නගර හෝඩිය පළමුව හැඳින කළුවර වැටෙද්දී ගෙදර ගියේ ය. තමන්ගේ සෑම කටයුත්තක් ම පසෙකලූ හෙතෙම නගර හෝඩිය පාඩම් කළේ ය. දිවා රෑ පාඩම් කළේ ය. ගුරු නාහිමියන් හමුවට ගියේ ය. තරුණයා ස්වෝත්සාහයෙන් සියලු පාඩම් මැනවින් හදාරා ඇති බවට විමැසූ ප්‍රශ්න කිහිපයකින් සැක හැර දැනගත්ත ද මින් පෙර සංස්කෘත භාෂාව කොහෙත් ම නොදැන සිටි බව නම් නාහිමියෝ පිළිගත්තේ ම නැත.

1915 දී අතිශය ජනප්‍රියත්වයට පත් සිරිසර සඟරාව බිහි කළ එතුමා ඒ වනවිට සිංහලයාට එල්ල වන නොපනත්කම් වලට එරෙහි ව සිය පෑන හසුරුවමින් එහි වැඩි ඉඩකඩක් වෙන් කළේ ය. සංස්කෘත වචන බහුල එතුමාගේ දෙවන නවකතාව වන ‘ලක්ෂ්මී’ දොරට වැඩියේ ය. එය 12 වාරයක් මුද්‍රණය විය. සිය ආත්ම ගරුත්වය පුද්ගලික ජීවිතයේදී පමණක් ම නොව සාහිත්‍ය ජීවිතයේදීත් රැක ගත යුතු ය යන්න එතුමා දැඩි ව ඇදහුවේ ය. මුලින් ම සිංහල සිනමාවට නැඟී එතුමාගේ ‘කැළෑහඳ’ නවකතාවෙන් පසු ඉතිහාසය හාරා අවුස්සා ළගන්නා සුළු බවින් අනූන වූ කෘතීන් ද විජයබාකොල්ලය, සුනේත්‍රා හෙවත් අවිචාර සමය, හිඟන කොල්ලා, ජූලි හත, රිදී හවඩිය, රදළ පිළිරුව, දෛවයෝගය, දෙයියන්ගෙ රටේ, මායා යෝගය, කතා රත්නාකරය, හඳපාන, පාසල් ගුරුවරි ආදී නවකතා අතුරින් බොහොමයක් සිනමාවට නැගිණි.

එවක මාර්ටින් වික්‍රමසිංහයන් ලේක්හවුසියේ සිංහල පුවත්පත් කර්තෘවරයෙකි. ඩබ්ලිව්.ඒ. සිල්වා ඇසුරු කරමින් ගෝලබාලයන් වන්නටත් සිංහල බස ලියන සැටි උගැනීමටත් ලැබීම මහත් සේ ආඩම්බරයකැයි කේ. ලයනල් පෙරේරා, දීගොඩ පියදාස සාහිත්‍යධරයන් ගේ ප්‍රකාශ පුවත්පතක සඳහන් වී තිබිණි. විශිෂ්ට සංස්කෘතියක් ගැන ආඩම්බර විය හැකි ජාතියක ඉපදීම මහත් අභිමානයක් බව ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීහු බොහෝ විට කී කතාවකි.

1915 වසරේ ජූනි මස අඳුරු පරිච්ඡේදයක් විය. සිංහලයාට සිදුවන මදි පුංචිකම් නොඉවසූ ඔහු සිය පෑනින් දිගට හරහට පහර ගැසුවේ ය. එහි ප්‍රතිඵලය වූයේ යුද නීතිය ප්‍රකාශයට පත් වෙමින් ඔහු සිරභාරයට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම ය. හේ වහා මාතර, දික්වැල්ලේ වැවුරුකන්නල පුරාණ විහාර ස්ථානයට පලා ගියේ ය. එහි ‘සිලප්පු’ නම් ඇබිත්තයා ලෙසින් වෙස් වළා ගෙන යුද නීතිය අවසන් වනතුරු රහසිගත ව සිටියේ ය.

අපේ කතා නායකයා පිළිබඳ නැවුම් තතු සොයා යාමේ ආශාවෙන් පසු වූ මා එතුමා දිවි ගෙවූ ප්‍රදේශයේ (අද ඩබ්ලිව්.ඒ. සිල්වා මාවතේ) ඇවිද ගියෙමි. අහඹුව මෙන් මට හමුවූයේ එතුමාට ඥාතිත්වයෙන් බෑණා වන සුවිශුද්ධාරාම මාවතේ (එදා කොටා ලේන්) පදිංචි දැනට 88 වන වියේ මනා නිරෝගී සුවයෙන් පසුවන ඩබ්ලිව්. ප්‍රෙඩ්රික් අල්විස් මහතා ය. ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ලසන්ත අල්විස් මුණුපුරා ද ඔහු සමීපයේ සිටියේ ය. සිල්වා ශූරීන් ගේ නවකතා ඔහුට කට පාඩම් ය. අලුත් නවකතාවක් එළිදක්වද්දී තම අස්සන යෙදූ එක් පොතක් තමන්ට එතුමා නොවරදවා පිළිගැන්වූ බව පවසමින් ඔහු ඒ කෘතීන් මට පෙන්වූයේ ය.

ඩබ්. ඒ. සිල්වා තනිකඩයෙකි. එසේ සිදුවන්නට හේතු වූ රසවත් කතාවක් ද තිබේ. එහි නම පමණක් වෙනස් කොට කතා රජ කතා පොතෙහි සිල්වා ශූරීන් ලියා ඇත. සෑම සතියක අග දී ම එම්.ජේ. විමලනාථ, කේ. ලයනල් පෙරේරා, ජී.එම්. පෙරේරා ආදී ප්‍රභූන් පිරිසක් විනෝදය පිණිස එක්වෙති. ත්‍රී කාඩ් ගසන්නේ එවිට ය. හෙතෙම හැමවිට පරාද වෙයි. එතුමා ගේ නිවසට නුදුරු ඥාති රොමියෙල් මහතා ගේ නිවසේ මේ කාඩ් සෙල්ලම රෑ බෝ වනතුරු ම කෙරෙන්නේ මදුවිත ද සමඟිනි. ඩබ්.ඒ. සිල්වා ද මදුවිතට හපනෙකි. එහෙත් එදා නම් පදම ඉක්මවා ගියේ ය. ඒ බව දත් ඥාති රොමියෙල් මහතා සිල්වාට නිදා ගන්නට සැලැස්වූයේ ඔහුගේ නිවසේ ඉදිරි කාමරයක ය.

උදෑසනින් තේ කෝප්පය රැගෙන ආවේ රූමතියක වන රොමියෙල් ගේ එක් දියණියකි. සිල්වා වහා ඇයගේ අත ඇල්ලුවේ ය. ඉන් අමනාපයක් නුවූ ඈ නොමනාපෙන් මෙන් ගෙතුළට දිව ගියා ය. කෙසේ හෝ දෙදෙනා ආදරයක බැදුණි. ඈ මහත් සේ ඔහුට පෙම් කළා ය. ලක්ෂ්මී නවකතාව ලිවීමට පසුබිම් වන ඉන්දියාවේ ස්ථාන කිහිපයක සංචාරය කරන්නට ඔහු තීරණය කර සිය පෙම්වතියට ඒ බව කීවේ ය. ඈ එකහෙළා ම ඊට විරුද්ධ වූවා පමණක් නොව කීම නොහා ඉන්දියාවට ගියහොත් තමන් අමතක කර දමන ලෙසට ද කියා සිටියා ය. ඇගේ කීම නාහා ගමන ගිය ඔහු යළි ඈ හමුවට පැමිණියේ තුන් මසකිනි. ඒ තෑගි බෝග ද අතැති ව ය. ඈ ඉවත බැලුවා ය. කිහිපවිටක් ඈ හා යළි හාද වන්නට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය. දෙදෙනා අතර කිසිදු හාදකමක් නොවූවා පමණක් නොව දෙදෙනා ම මිය ගියේ අවිවාහක ව ජීවත්වීමෙන් අනතුරු ව ය.

සිල්වා ශූරීන් වේලාවට වැඩ කරන්නෙකි. කිව යුතු දේ මුහුණට ම කියන්නෙකි. සද්දන්ත මිනිසෙකි. අයුක්තිය දුටු තැන අත් පා වලින් පහර දීමෙහි ද දක්ෂයෙකි. මදුවිත ප්‍රිය කරන්නෙකි. උත්සාහවන්තයෙකි. ඔහු ගේ අවසන් ගෝලයා වූයේ මලල්ගොඩ බන්දුතිලක ශූ®රීන් ය. බැල්ම ගාම්භීර ය. ඕනෑ ම අයකුගේ දේහ ලක්ෂණයන් ගෙන් ඔහුගේ ගතිගුණ හඳුනා ගැනීමෙහි සමතෙකි. සැරයටිය ද කෝට් බෑය ද – ටයි පටිය ද – කලිසම ද සපත්තු යුගළ ද ඔහුගේ ඇඳුම් වලට අයත් වේ. රසට කෑම උයන්නට දන්නා ඔහු දක්ෂ අරක්කැමියෙකි. හිතවතුන් එකතු වූ කල උයා පිහා දෙන්නේ ඔහු ය.

එදා වැල්ලවත්ත සැපයර් සිනමා ශාලාව ඉදිරිපිට පිහිටි එතුමාගේ ‘සිල්වමියර්’ නිවස තවමත් එසේ ම ය. එදා එතුමාට ආවතේව කළ තැනැත්තා අද වයෝවෘද්ධ ය. ඒ නිවස තමන්ගේ ඇවෑමෙන් හුදී ජනයාගේ දැනුම උදෙසා පුස්තකාලයක් බවට පත් කරන්නට ඔහු අවසර දී තිබුණේ ය.

දිනක් කොළඹින් තලෙයිමන්නාරමට යාමට රෑ දුම්රියට නැගුණු එතුමා අසුනක හිඳ ගත්තේ ය. යාබද අසුනේ පසුවූ මැදිවියේ අයකු විදුලි බල්බයක් දල්වා ගෙන පොතක් කියවමින් පසු විය. විදුලි එළිය නිසා ඔහුට නින්ද යන්නේ නැත. විදුලි එළිය නිවා දමන්නැයි ආගන්තුකයා ගෙන් ඉල්ලීම් කළ ද ඔහු ගණන් ගත්තේ නැත. ඩබ්.ඒ. සිල්වාට යකා නැග්ගේ ය. ‘ඕක නිවල දානවකෝ.’

“මේ ජේත්තුකාරයා – තමුන්ලට මේ පොත්වල අගයක් නැති වුණාට මට අගයක් තියෙනවා. මේක රසවත් පොතක්. නම ‘හිඟන කොල්ලා’ ටිකක් ඉන්නවා.” ඒ මිනිසා කීවේ ය. විමතිය, හාස්‍යය මුසු සිනහවකින් යුතු ව ඔහු කිසිත් නොදොඩා ම අනෙක් ඇලයට හැරී නිදන්ට වූයේ ය.

~ by පොත් ගුල on November 26, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: