සල්ලි පැළකර අස්වනු නෙළන සිනමාවේදියා කැමරන්

මෑතකදී ශ්‍රී ලංකාවේ ද තිරගත වූ ඇවටාර් (Avatar) නම් හොලිවුඩ් චිත්‍රපටය තවමත් රසිකයන් මතකයේ නැවුම් අත්දැකීමක් ලෙසින් පවතින බව නොරහසකි.

මෙතෙක් හොලිවුඩ් චිත්‍රපටයකින් ලත් වැඩිම ආදායමට හිමිකම් කියන ඇවටාර් චිත්‍රපටයට පෙර වැඩිම ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය වූයේ 1997 තිරගත වූ ටයිටැනික් චිත්‍රපටයයි.

මේ සිනමා කෘතීන් දෙකේම නිර්මාතෘ එක් අයෙකුවීම විශේෂයකි. චිත්‍රපට දෙකෙහිම තිරකතා රචනා කොට අධ්‍යක්ෂණය කළ ඔහු ජේම්ස් කැමරන් (James Cameron) නම් වෙයි. ජේම්ස් මේ වනවිට ආදායම් වාර්තා පිහිටවූ යුගයේ හොලිවුඩ් චිත්‍රපට පෙළක්ම තිරනාටක ලියා අධ්‍යක්ෂණය කළ, අද හොලිවුඩ් සිනමාවේ සිටින විශිෂ්ටයන්ගෙන් කෙනෙකි. ඔහු විශිෂ්ට සිනමා තිරනාටක රචකයකු වන්නේ ඔහුගේ කතාවලට විශේෂයෙන් ගැබ්වී ඇත්තේ දුර්ලභ තේමාවන් වීම නිසාය.

විශේෂ ප්‍රයෝග උපයෝගී කොට ගෙන පිටසක්වල සිද්ධීන්, ත්‍රාසජනක ක්‍රියා, දියයට ක්‍රියාකාරකම් ඇතුළත් තිරකතා ලිවීමට හා එවන් චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට අද සිටින දක්ෂතම සිනමා නිර්මාණකරුවා ඔහු යැයි කීවොත් නිවැරැදිය.

චිත්‍රපට විචාරකයන් විසින් ජේම්ස් කැමරන් හඳුන්වා දී ඇත්තේ චිත්‍රපට නිෂ්පාදකයකු අධ්‍යක්ෂවරයකු තිරනාටක රචකයකු ලෙසට පමණක් නොවේ. විශිෂ්ට සිනමා ප්‍රයෝග නිර්මාණකරුවකු ලෙස ඔහුගේ විශිෂ්ට දක්ෂකම් ඔවුහු අගය කරති. එමෙන්ම වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස දස්කම් පාන ඔහු 3D Fusion Camera System චිත්‍රපට නිර්මාණ ක්‍රමය සංවර්ධනය කළ නිර්මාණකරුවෙකි. කැමරන්ගේ චරිත කතාව ලියූ රචකයකු විසින් හඳුන්වා දෙන පරිදි ඔහු අර්ධ විද්‍යාඥයෙකි. චිත්‍ර ශිල්පියකු දියයට චිත්‍රපටකරණය හා වාහන තාක්ෂණය සිනමාවට යොදාගැනීම පිළිබඳ විශේෂඥයෙකි.

ඔහුගේ විශේෂිත වූ සිනමා නිර්මාණයන් අතර ලෝකප්‍රකට වූ The Terminator (1984) Aliens (1986) The Abyss (1989) The Terminator 2 Judjement day (1991) Truelies (1994) Titanic (1997) හා Avatar (2009) කැපීපෙනයි.

මුදල් විශාල ලෙස යොදවා චිත්‍රපට නිෂ්පාදනය කිරීමත් ඒවායින් ආදායම් වාර්තා පිහිටුවීමත් පිළිබඳව ඔහු නම් දරා සිටී. ඔහු උතුරු ඇමෙරිකාවේදී චිත්‍රපට සඳහා යෙදවූ මුදල දළ වශයෙන් ඩොලර් බිලියන 1.75 ක් වන අතර ලොව පුරා ඒ සඳහා යෙදූ මුදල ඇ.ඩොලර් බිලියන 4.91 ඉක්මවයි.

කැනඩාවේ ඔන්ටාරියෝ හි කැපුස්කේසිං හි දී (Kapuskasing) 1954 අගෝස්තු 16 දා උපන් ජේම්ස් ප්‍රැන්සිස් කැමරන් (James Francis Camaron) ගේ මවුපියන් වූයේ විදුලි ඉංජිනේරුවකු වූ පිලිප් කැමරන් හා චිත්‍ර ශිල්පිණියක හා හෙදියක වූ ෂර්ලි ය. නයගරා දියඇල්ල ආශ්‍රිත වූ Stamford විදුහලේ අධ්‍යාපනය ලත් ඔහු සිය පවුලේ අය සමඟ 1971 දී කැලිෆෝනියාවේ බ්‍රියා ((Brea) කරා පැමිණියේ ය.

භෞතික විද්‍යාව හා ඉංග්‍රීසි ඉගෙනුම පිණිස Fullerton College ආයතනයට බැඳුණු කැමරන් කැලිෆෝනියා රාජ්‍ය සරසවියේ ද අධ්‍යාපනය ලැබීය. 1970 දශකයේ දී එහි ශිෂ්‍යයකු වූ ඔහුට පසුකලක එම සරසවිය විසින්ම කලා අධ්‍යාපනය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීම විශේෂයකි.

1973 වන විට ඔහු ස්වාභාවික විද්‍යාව පිළිබඳ විශාල අධ්‍යාපනික පසුබිමක් සහිතව සිටියත් Fullerton College ආයතනයේ දී තෝරාගත්තේ දර්ශන විද්‍යාවයි.

අනතුරුව කැලිෆෝනියා දකුණුදිග සරසවියේ දී චිත්‍රපටකරණය හැදෑරීමට ඔහුට අවස්ථාවක් ලැබිණ. එහි පුස්තකාලය පරිහරණය කළ ජේම්ස්ට චිත්‍රපට තාක්ෂණය පිළිබඳ බොහෝ පොත් කියවන්නට හැකිවිය.

ට්‍රක්රථ රියැදුරකු ආදී විවිධ රැකියා කළ ද ඒ එකකින්වත් තෘප්තිමත් නොවූ ජේම්ස් කැමරන් 1977 දී ඉබචප ඹචපඵ නම් චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව සියල්ල හැර දමා චිත්‍රපට කර්මාන්තයට අවතීර්ණ විය. Star wars ගේ Screenplay නම් පොත කියවා චිත්‍රපට තිරනාටක කෙරෙහි නැඹුරු වූ කැමරන් සිය මිතුරන් දෙදෙනෙකු ද සහාය කරගෙන ”Xenogenesis” නම් විනාඩි දහයක විද්‍යාත්මක තිරනාටකයක් රචනා කළේය. අනතුරුව ඔවුහු අවශ්‍ය මුදල් සොයාගෙන කැමරා උපකරණ යනාදිය කුලියට ගෙන ඒ තිරනාටකය මි.මී.35 චිත්‍රපටයක් වශයෙන් නිෂ්පාදනය කරන්නට සමත් වූහ.

එහිදී කැමරාව ක්‍රියාකරන අන්දම ආදිය පිළිබඳව ඔවුන් ඉගෙනගත්තේ එය මුළුමනින් ගලවා නැවත සවිකිරීමෙනි. චිත්‍රපටකරණය පිළිබඳ තනිවම හදාරන්නට පටන්ගත් ඔහු Roger Corman චිත්‍රාගාරයේ දී අත්හදාබැලීම් වශයෙන් ආදර්ශ චිත්‍රපට නිපදවන්නට පෙළඹුණේය.

චිත්‍රපටකරණය පිළිබඳව හදාරමින් සිටි කැමරන් 1980 දී චිත්‍රපට ලෝකයට පිවිසුනේ විද්‍යාත්මක ප්‍රබන්ධයක් වූ Beyond the Stars චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කරමිනි. අනතුරුව 1981 දී පෝන් කාර්පෙන්ටර් ගේ Escape from Newyork චිත්‍රපටයට විශේෂ ප්‍රයෝග හා සැලසුම් අධ්‍යක්ෂවරයකු වශයෙන් දායක විය. 1981 දී Galaxy of Terror හා 1982 දී Android චිත්‍රපටවලට ද ඔහු සම්බන්ධ වූයේ නිෂ්පාදන අංශයට දායක වෙමිනි.

මෙසේ විවිධ චිත්‍රපටවලට සම්බන්ධ වී කටයුතු කරද්දී ඔහුගේ සිතේ චිත්‍රපට තිරනාටක කතා සැකිල්ලක් නිර්මාණය විය. ඒ Terminator චිත්‍රපටයේ කතාවයි. එහි තිරනාටකය මුළුමනින්ම ලියා නිමකළ ජේම්ස් කැමරන් ගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ තමාටම එය අධ්‍යක්ෂණය කළ හැකි පරිදි නිෂ්පාදන සමාගමකට එය විකිණීමය. එහෙත් නවකයෙකු වන ඔහුට එවැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට බාරදීමට බොහෝ චිත්‍රපට නිෂ්පාදකයෝ අකැමැති වූහ. අවසානයේ දී Gale Ann Hurd නම් චිත්‍රපට නිෂ්පාදිකාව ඇගේ Pacific Western Company නම් සමාගම යටතේ එය මිලදීගෙන කැමරන් ලවා එය අධ්‍යක්ෂණය කරවීමට කැමැතිවූවාය. ඔවුන්ගේ පොරොන්දුව වූයේ The Terminator චිත්‍රපට තිරනාටකය ඩොලර් එකකට මිලදි ගැනීමටයි. මේ අනුව ඩොලර් එකකට සමාගම එම චිත්‍රපට තිරනාටකය මිලදී ගත් අතර කැමරන් එය අධ්‍යක්ෂණය කළේය. James Camaron නම් වූ ලෝකප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ කුළුඳුල් චිත්‍රපටය නිර්මාණයට මඟපෑදුණේ එසේය.

මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කිරීම සඳහා ශක්තිමත් පාංශුදේහධාරී නළුවෙකු සොයමින් සිටි කැමරන්ට හදිසියේම ආර්නෝල්ඩ් ස්වේශනගර් මුණගැසිණ. එහි ඔස්ටේ‍්‍රලියානු බර උසුලන්නාගේ චරිතය සඳහා ගැලපෙන නළුවා වූයේ ස්වේශනගර්ය. ප්‍රධාන නිලිය වුණේ ලින්ඩා හැමිල්ටන් ය. මෙසේ සිය පළමුවන චිත්‍රපට තිරනාටකය අධ්‍යක්ෂණය කළ ජේම්ස් කැමරන් එක රැයකින්ම ලොවපුරා ජනප්‍රිය විය. The Terminator චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ආර්නෝල්ඩ් ස්වේශනගර් ද ඔහුගේ මේ පළමුවන චිත්‍රපටයෙන් ම මහත් ජනප්‍රිය විය. එය ඇ.ඩොලර් මිලියන 78ක් ආදායමක් ලැබූ බව කියැවේ. The Terminatorf සමගාමීව ඔහු තවත් චිත්‍රපට තිරකතා දෙකක් ලිවීය. ඒ A Aliens හා Rambo – First Blood Part II තිරකතා දෙකයි.

ඒ අතරින් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ Rambo – First Blood Part II 1985 දී තිරගත විය. එහි ප්‍රධාන නළුවා වූයේ සිල්වෙස්ටර් ස්ටැලොන්ය. විද්‍යා ප්‍රබන්ධයක් පදනම් කරගත් ‰ Alien තිරකතාවද අධ්‍යක්ෂණය කළ කැමරන් තවත් ජයග්‍රාහී පිම්මක් ඉදිරියට යමින් එය 1986 දී තිරගත කළේය. බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළමින් තිරගත වූ Alien චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ඩිගොර්නී වීවර් ගේ නම හොඳම නිළිය සඳහා නිර්දේශ විය. හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපට සංස්කරණය, හොඳම නිර්මාණාත්මක සංගීතය, හොඳම ශබ්ද පරිපාලනය සඳහා ද Alien නිර්දේශිත විය.

කැමරන් ගේ ඊළඟ චිත්‍රපටය වූයේ 1989 දී තිරගත වූ The Abyss ය. එය ඔහු මෙතෙක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට වඩා වෙනස් විය. ඔහුට මෙහි කතා තේමාව හිතට ආයේ ඔහු උසස් පාසලේ ජීව විද්‍යා පන්තියේ සිටියදීය. කැමරන්ගේ තිරකතාවේ සිද්ධි මාලාවට අයත් වූයේ මුහුද මැද තෙල් කැනීම් අට්ටාලයක සේවකයන් විසින් දිය යටදී සොයාගන්නා ලද මෙලොවින් එපිට ජීවත්වන අමුතුම ජලජ ජීවීන් කොට්ඨාසයක් පිළිබඳ කතාවකි. එඩ් හැරිස්, මාරි එලිසබත්, මාස්ට්‍රැන්බානියෝ හා මයිකල් බෙයික් වැනි නළු නිළියන් රඟපෑ මෙහි මුළු වියදම ඇ.ඩොලර් ලක්ෂ 41ක් විය.
දයා ඩී.ෆොන්සේකා

~ by පොත් ගුල on October 11, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: