වාග් චාතුර්යයෙන් විස්කම් පෑ මලල්ගොඩ කවියා

එදා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ කුලරත්න ශාලාව අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. මහ කළු සිංහලයකු බඳු පී. නිශ්ශංක මහතා මුලසුන හොබවමින් සිටියේ ය. දේශනය පවත්වමින් සිටියේ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙකි. එතුමාගේ දේශනය ‘සිංහල ජනශ්‍රැතිය’ පිළිබඳව ය. සභාව සිංහල කවීන් ඇතුළු සාහිත්‍යධරයන්ගෙන් පිරී තිබිණ.

මේ පසුගිය සියවසේ හැටවන දශකයෙහි මුල් භාගයෙහි දී සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සිංහල සාහිත්‍ය අනුමණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සාහිත්‍ය උත්සවයේ මහා සභා රැස්වීම යි. දේශනය සඳහා වෙන් කොට තිබුණේ විනාඩි හතළිස් පහක පමණ කාලයක් වුවත් දේශක තුමා කාලය ගැන කිසි ම තැකීමක් නැතිව එකදිගට ම කථා කර ගෙන යයි.

පැයකටත් වැඩි කාලයක් දැනටමත් ගත වී ඇතත් ‘සිංහල ජනශ්‍රැතිය’ යන මාතෘකාවේ ‘ජන’ යන පදය වත් තවම නිර්වචනය කොට අවසන් කරන්නට දේශකයා සමත් වී නැත. ඔහු නොයෙක් මානව විද්‍යාඥයන්ගේත් සමාජ විද්‍යාඥයන්ගේත් ඉංගි‍්‍රසි නිර්වචන උපුටා දක්වමින් ’ටධතඬ’ යන සංකල්පය පිළිබඳ අර්ථකථන ඉදිරිපත් කරද්දී සභාව කෙමෙන් කෙමෙන් අසහනයට පත් වන සෙයක් පෙනෙයි.

දේශකයා දේශනය නවත්වන පාටක් නැත; සභාව දේශනයට කන් දෙන පාටකුත් නැත; මුලසුනට කර කියා ගත හැකි දේකුත් නැත. සභාවේ ඇත්තන් නැඟිට කෑකෝ ගසමින් එය එකම අවුල් ජාලයකට හරවද්දි සුදු පැහැති ජාතික ඇඳුමෙන් සැරසුණු මැද වියෙහි පුද්ගලයෙක් වේදිකාවට නඟියි; එහි වූ කලස්වලට පයින් ගසයි. දේශනය නවත්වන සේ මුලසුනට අභියෝග කරයි. ශාලාවට පොලිසිය ද කැඳවන ලදුව සභාව මඳකට සන්සුන් වෙයි.

එදා සාහිත්‍ය උත්සවයේ පළමුවන දේශනය අවසන් වූයේ එසේ යි. නිශ්ශංක මහතා මුලසුනෙන් ඉවත් වී යත්ම මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා දෙවෙනි දේශනයේ මුලසුන හෙබවීමට පැමිණියේ ය. පරණවිතාන මහතා තමාට සුපුරුදු උපහාසයෙන් “මොකද්ද මං එන කොට තිබ්බ සාහිත්‍ය ඝෝෂ්ටිය?” යනුවෙන් අසමින් මුලසුනෙහි වාඩි විය.

දෙවෙනි දේශනය පැවරි තිබුණේ මට ය. මගේ මාතෘකාව වූයේ ‘සිංහල ජන වහර’ ය මම මඳක් චකිතයෙන් යුතුව වේදිකාවට නැග්ගෙමි. මම ‘ජන’ යන පදය අමුතුවෙන් විවරණය කරන්නට නොගියෙමි. මේ සාහිත්‍ය සභාව දන්නෙ නැද්ද ‘ජන’ කියන්නෙ පොදු ජනයාට බව? මම සිංහල ජන වහරින් නිදසුන් දක්වමින් මගේ දේශනය පැවැත්වමි. මට ඇදහිය නොහැකි පරිද්දෙන් හැම දෙනා ම සාවධානයෙන් දේශනයට සවන් දුන්හ.

මගේ කථාව අවසන් වත්ම ජාතික ඇඳුමෙන් සැරසුණු ඒ පුද්ගලයා නැවත නැඟී සිටිනු මම දුටුවෙමි. හීන් දාඩියක් මගේ ඇඟින් මතු වනු මට දැනෙයි. ඔහු කෙළින් ම වේදිකාව දෙසට එයි. මම ඇස පිය නොහෙළා බලා සිටියෙමි. ඔහු ජවසම්පන්න ව වේදිකාවට නැංගේ ය. දෑත් ඉහළට ඔසොවා මට නමස්කාර කළේ ය; හිටිවන කවියක් ද කියා ඔහුගේ ප්‍රසාදය පළ කළේ ය. සියල්ලෝ ම අත්පොළසන් දුන්හ.

මේ අපූරු පුද්ගලයා කවරෙක් දැයි මම නොදත්තෙමි. ඔහු කවරෙක් වුවත් නිර්භය පුරුෂයකු බව නම් මම ඉඳුරා දැන ගත්තෙමි. මම මඳක් විපරම් කොට බැලීමි. ඔහු නමින් ‘පියදාස මලල්ගොඩ’ විය. මා ඔහු ගැන අසා තිබුණත් ඔහු මුලින් දුටුවේ එදා ය. ඔහු ගැන එදා ඇති වුණු ප්‍රතිරූපය තාමත් මා තුළ පවතී.

කල් යත් ම ඔහු ගැන තවත් කරුණු කීපයක් මම තේරුම් ගතිමි. පළමුවැන්න, ඔහු අසාධාරණය කිසිසේත් නොඉවසන බව යි. දෙවැන්න, අසාධාරණයට විරුද්ධ ව ඕනෑ ම පියවරක් ගැනීමට ඔහු බිය නැති බව යි. තෙවැන්න, විචක්ෂණ බුද්ධියකුත් ස්ථානෝචිත ප්‍රඥාවකුත් ඔහු සතු බව යි. හතරවැන්න ඔහුට හරි අගේට හිටිවන කවි කීමට පුළුවන් බව යි. එසේ වුවද ඔහුත් මාත් අතර දැඩි යාළු මිත්‍රකමක් පැවතියේ නැත.

ඔහු කලක් මහණ බිමේ සිටි බව මා දැන ගත්තේ පසුව ය. පන්සල් බිමෙහි සිටියදී පවා ඔහු අසාධාරණයට විරුද්ධ ව නිහඬ ව සිටියේ නැත. ඔහු කළුගල ගුණවර්ධනාරාමයේ අකුරු කරමින් සිටි අවධියෙහි දී ඉඳහිට පන්තියෙහි දී හිටිවන කවියක් දෙකක් කීවේ ය. මේ ගැන කිපුණු ලොකු හාමුදුරුවෝ වරක් ඔහුගේ කන අල්ලා මිරිකුවේ ය. ඔහුට තරු පෙනෙන්ට ඇත.

පොඩි හාමුදුරුවෝ එදා රෑම අඟුරු කැබැල්ලකින් ආවාස ගෙයි බිත්තියේ මේ කවිය ලියූහ:

“පාඩම් මැද කවි කිවුවට බැණල මට සැරෙ න්

ටොකු තුන හතරක් ඇන්නා ඇදලා මගෙ කනෙ න්

ලොකු තැනෙ මම කියනා දේ හොඳට අසා ගනි න්

කවි පද තව ඇහෙනවාට කන් කපා ගනි න්”

පසුවදා දානමය පිංකමකට ආ දායක පිරිස මේ කවිය කියවා පුදුමයට පත් වූහ. “මේ කවිය ලීවෙ කවුද හාමුදුරුවනේ?” යැයි එක් උපාසක මහතෙක් ලොකු හාමුදුරුවන්ගෙන් ඇසුවේය. ලොකු හාමුදුරුවෝ සන්සුන් ව “ඔය සුමනවංස පොඩි තැනගෙ වැඩ. ඔන්න ඕක මකලා දාන්න උපාසක මහත්තයො” යැයි කීහ.

මහණ බිමට ඒමට කලින් පියදාස මලල්ගොඩ ඉගෙන ගත්තේ දික්කුඹුරේ ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයෙහි ය. හවස් වරුව බොහෝ විට ගත කළේ ගුණවර්ධනාරාමයෙහි ය. වෙන දරුවන් මෙන් ම ඔහුත් නම්පොත, මඟුල් ලකුණ, බුද්ධ ගජ්ජය, වදන් කවි පොත හා නාමාෂ්ට ශතකය වැනි පන්සල් පොත් සියල්ල ම කියවා ප්‍රගුණ කළේ ය.

පන්සල් අධ්‍යාපනය අවසන් කළ පොඩි හාමුදුරුවෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනටත් බලගල්ලේ සරස්වතී පිරිවෙනටත් ගියහ. ප්‍රාචීන භාෂෝපකාර සමිති විභාගයෙන් ඉහළින් ම සමත් වූ සුමනවංස හිමියන්ට පණ්ඩිත උපාධිය පිරිනැමිණ.

කලක් කුරුණෑගල බෞද්ධාලෝක පිරිවනේ ඉගැන්වූ උන් වහන්සේට වැඩි කලක් එහි ඉන්නට නොලැබුණේ ගුණවර්ධනාරාමයේ විහාරාධිපති පදවිය භාර ගන්නට සිදු වූ හෙයිනි.

මහණ බිමේ සිටියදී පවා උන් වහන්සේගේ සටන්කාමීත්වය යටපත් වූයේ නැත. 1953 වසරේ අනුරාධපුරයේ පැවැති හර්තාලයට සම්බන්ධ වීම නිසා උන් වහන්සේට හිරබත් කන්නට ද සිදු විය. උන් වහන්සේ හිර ගෙදර හිඳ ලියූ කවි සමහරක් හේමමාල මුණිදාස මහතාගේ කර්තෘත්වයෙන් පළ වුණු ‘සිංහලේ’ පුවත්පතෙහි පළ කෙරිණ:

“බාධකවලට බිඳකුදු බිය නොමැත්තෙ මි

මාරක මැදින් යන්නට මම උගත්තෙ මි

ජාතික සටන ගැන දිවි දෙනු සිතැත්තෙ මි

පෝරකයට වුවත් යන්නට කැමැත්තෙ මි

1921 ඔක්තෝබර 11 දා උපන් ඔහු තිස් තුන්වෙනි වියෙහි දී උපැවිදි විය. ඔහු මහණකම අත් හැරියත් කවිකම අත් හැරියේ නැත. බී. එච්. අමරසේන, මීදෙණියේ විමලානන්ද හිමි, සාගර පලන්සූරිය, විමලේන්ද්‍ර වතුරේගම, පී. බී. අල්විස් පෙරේරා, පී. එච්. පෙරේරා, විමල් අබේසුන්දර, මීමන පේ‍්‍රමතිලක, උපනන්ද බටුගෙදර හා සෝමවීර චන්ද්‍රසිරි වැනි කවියෝ ඔහුගේ කුලුපග මිතුරෝ වූහ. ඔවුහු එක් ව සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ කටයුතු උද්‍යොගයෙන් කර ගෙන ගියහ.

අසාධාරණයට විරුද්ධ ව ඔහු ලියු කවි “එල්ලය බලා කුරුමානම අල්ලා ඉලක්කය නොවරදින ලෙස ඊය විදින දුනුවායකුගේ” හීසර වැන්නැයි වරක් හේමපාල මුනිදාස මහතා පැවසීය.

යළි ගිහි ජීවිතයට එළඹි ඔහුට ඔහුගේ සටන්කාමීත්වය වඩාත් හොඳින් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබිණ. ඔහු දේශපාලන පුවත්පත් සඟරාවලට සටන්කාමී ලිපි ලේඛන සැපයුවේ ය.

බණ්ඩාරනායක මහතා සමඟ එක් ව සිංහල භාෂා සටන දිගට ම ගෙන යෑමට ඔහු පෙරමුණ ගත්තේ ය. පණ්ඩිත වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් මතක් කොට සිටින්නාක් මෙන් “සිංහලය රාජ්‍ය භාෂාව බවට යළිත් පත් කිරීමේ සටන මුලින් ම ආරම්භ කරන ලද්දේ සමස්ත සිංහල කවි සම්මේලනය වැනි සංවිධාන මඟිනි.”

කේ. බී. සුගතදාස මහතා කී පරිදි “හුදෙක් සිංහල කවි සම්මේලනයේ සම්පාදකයාණන් වශයෙන් පමණක් නොව ස්වාධීන දේශමාමක විචාරශීලී විවේචකයකු හා දේශපාලන විධායකයකු වශයෙන් ඉකුත් විසි තිස් වසර තුළ කවියෙන් පමණක් නොව විවිධ ප්‍රචාර මාර්ගයෙන් නොමඟ ගත් දේශපාලනඥයන්ට හා ජන සේවකයන්ට වාග් ප්‍රහාර දානයෙන් සලසන ලද උපහාසය හා අවධානය පොදු ජන සන්තානය සුමග ගැන්වීමට මහෝපකාරී විය.”

මලල්ගොඩ කවියාගේ විචාරාක්ෂිය අගේ කරන කුසලධම්ම නාහිමිපාණෝ මෙසේ ද කියති: “වත්මන් ජාතික ව්‍යසනය කල් තියා දැකීමට සමත් තියුණු ඇසක් ඔහු සතු විය. යුගයේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ඔහු විසින් ආරම්භ කරන ලද ‘කවිය’ පත්‍රය මෙරට බලවතුන්ට මහත් හිසරදයක් මෙන් ම අභියෝගයක් ද විය. එහි පළ වූ අභියෝගාත්මක කර්තෘ නිබන්ධනයන් නිසා මලල්ගොඩ කවියාට කිහිප වාරයකදී ම සුප්‍රසිද්ධ සිවුවන තට්ටුවට නැගීමට ද සිදු විය.”

මලල්ගොඩ කවියාගේ සටන්කාමී කවි කියවන විට නිරායාසයෙන් ම සිහිපත් වන්නේ ටිබෙට් ජාතික මහින්ද හිමියන්ගේ කවි ආර යි:

“ලෙයින් ඇට කටුවලින් නොලැබුව විමුක්තියකට හිමිය නින් දා

අනුන්ගෙන් ලද නිදහසක් මත ඉහළ පෙළ යළි ඉසුරු වින් දා

දැයෙන් හිමි උරුමය නොදී ජනතාව වෙත වැට කඩුලු බැන් දා

දනින්දන්ගේ යදම් මැද හිර වෙවී ජාතිය කඳුළු බින් දා

1959 දී බණ්ඩාරනායක ඝාතනයේ සාක්කිකරුවකු වශයෙන් ඔහු කී දේ ලංකාවේ උසාවි ඉතිහාසයට එක් වන්නේ මෙතෙක් පැවති දීර්ඝතම හා රසවත් ම ශාක්ෂිය වශයෙනි. ඔහුගේ ක්ෂණික බුද්ධියත් ස්ථානෝචිත ප්‍රඥාවත් චතුර ප්‍රකාශන ශක්තියත් නිසා කීර්තිධර නීතිවේදීන් පවා උසාවියෙහි දී උපහාසයටත් අවමානයටත් පත් වූ හැටි කාටත් මතක ය.

මේ වන විට ඔහු ‘ස්ත්‍රී සූත්‍රය’ නමින් කවි පොතක් ලියා තිබුණු බව දැන ගත් නීතිඥයා උපහාසයෙන් මලල්ගොඩ කවියාගෙන් ප්‍රශ්න කීපයක් ඇසුවේය.

ඔහු මුලින් ම ඇසුවේ ‘ස්ත්‍රී සූත්‍රය’ කියන්නේ මොන වගේ සූත්‍රයක් ද කියා යි. සමහර විට ‘කාම සූත්‍රය’ කියවා තිබූ නීතිඥයා කලක් මහණ බිමේ සිටි මලල්ගොඩ ස්ත්‍රී සූත්‍ර දන්නේ කෙසේ දැයි විමතියෙන් පසු වන්නට ඇත:

ස්ත්‍රී සූත්‍රයෙන් ස්ත්‍රී ශාස්ත්‍රය උගන්වනවා

ඒ කියන්නෙ ඒ විෂය ගැන ඔබට හොඳ දැනුමක් තියෙනවා?

මා ලියුවේ මගේ අවබෝධය අනුවයි

ඔබ ඒ අවබෝධය ලබා ගත්තේ කොයි කාලෙ ද?

අසවල් අවුරුද්දෙය කියා මට කියන්ට බෑ

ඔබ මහණ වන විට වයස කීයද?

දහතුනයි

ඔබ මහණ වන කාලේ ඒ අවබෝධය ලබා තිබුණ ද?

මොන අවබෝධය ද?

ස්ත්‍රීන් පිළිබඳ අවබෝධය

තිබුණා

කොහොමද එදා තිබුණු අවබෝධය?

රෙද්දක් හැට්ටයක් අඳින්නෙ ගැහැනියක් ය, සරම බැනියම අඳින්නෙ පිරිමියෙක් ය යන අවබෝධය මට තිබුණා

ඔබ මහණකමේ සිටියදි ගැහැනුන් ගැන ඊට වඩා දැනුමක් ලැබුවෙ නැද්ද?

ලැබුවා

ඒ කවුරු ගැන ද?

විශාඛා, යසෝදරා, සුජාතා, සුමනා, නන්දා, සුනන්දා, උත්තර, බුජ්ජුත්තරා, සෝමා, සාමා, චාලා, උත්පලා ආදි බෞද්ධ කාන්තාවන්ගේ තතු මා බෞද්ධ සාහිත්‍යයෙන් ඒ කාලෙ ඉගෙන ගත්තා.

මෙහි දී මහේස්ත්‍රාත්තුමාට ද සිනාව නවත්වා ගත නොහැකි ව නීතිඥයා අමතා “ඔය ඇද්දැ?” යි ඇසුවේ ය. මුළු උසාවිය ම සිනා සාගරයේ ගිල්වීමට මලල්ගොඩ සමත් විය.

‘කඩුවට වඩා පෑන බලගතු ය’ යන පිරුළ සනාථ කරන්නට හොඳ ම නිදර්ශනය මලල්ගොඩ කවියා යි. ඔහු තමා ගැන ම අභිමානයෙන් මෙසේ ලිවීය:

“ළය දී රටට ජනතාවට එඩි පා න

දැය රුපු පඳුරු දුටු හැටියෙම කඩු ගා න

සිය යුතුකම කරන සිතකින් අබිමා න

බිය නැත එකිසිදු රජ අණකට කවි පෑ න”

මහාචාර්ය ජේ. බී. දිසානායක

~ by පොත් ගුල on September 20, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: