ඇඳුමද නුඹේ ජීවිතය ද මහන්නේ

අසූව දශකය ආරම්භ වන්නේ සිංහල විරෝධාකල්ප ගීතයට මංපෙත් සකස් කරමිනි. නන්දා මාලිනියගේ ‘සත්‍යයේ ගීතය’ ගුණදාස කපුගේ ගේ ‘කාලයේ රාවය’ නැවත නන්දා මාලිනිගේ ‘පවන’ වැනි ඒක පුද්ගල ප්‍රසංග සිංහල ගීතයේ පෙරළිකාර ප්‍රසංගයන් ලෙස හැඳින්විය හැකි ය. මේ වාගේ අන්තර්ගත නිර්මාණ පිළිබඳ සංවාද විසංවාද පැවතියද විවෘත ආර්ථිකයේ ඇතැම් අතුරු ප්‍රතිඵල පිළිබඳ නිර්දය විවේචනයන් ද අභියෝගාත්මක ප්‍රකාශනයන් ද මේ නිර්මාණ ප්‍රසංග තුළ අන්තර්ගත විය. එහි ගුණ අගුණ කෙසේ වෙතත් දැන් ඒ යුගය ඉතිහාසගතවී අවසන් ය.

ඇඟලුම් කර්මාන්තය බිහිවන්නේ ද විවෘත අර්ථ ක්‍රමයේ ඍජු ප්‍රතිඵලයක් ලෙසිනි. විරැකියාව ඔඩු දුවා තිබූ අවදියක ග්‍රාමීය තරුණ තරුණියන්ට රැකියා සැපයීමට මෙය ඉතා කදිම අවස්ථාවක් විය. නිදහස් වෙළඳ කලාප කටුනායක ප්‍රමුඛ ව බොහෝ ස්ථානවල ඉදිවන්නට විය. මෙය ලංකාවට ආගන්තුක තත්ත්වයක් වූ අතර ග්‍රාමීය තරුණියන් ශීඝ්‍රයෙන් බස්නාහිර පළාතට සංක්‍රමණය වන්නට විය.

බහු ජාතික සමාගම්වලට ආයෝජන අවස්ථා සපයා ජන්නා මිස මෙහි රැකියා කරන්නට එන තරුණ තරුණියන් පිළිබඳ ව රජය සැලකිලිමත් වූ බවක් නොපෙනිණි. ඔවුන් නවාතැන් ගත්තේ, තාවකාලික කුලී නිවාසවල ය. රැකියාවක පිපාසයෙන් සිටි පාසලෙන් සමුගත්, අනුරාධපුර, පොළොන්නරු, කුරුණෑගල දිස්ත්‍රික්කවලින් පැමිණි තරුණියෝ කුකුළු කොටු බඳු කූඩාරම්වල කූඩු වූහ. තම යෞවනයේ සිහින සැබෑ කර ගැනීමට සේම කීයක් හෝ උපයා ගැනීම මොවුන්ගේ එක ම අභිලාෂය විය.

මේ තරුණියෝ කොළඹ, මීගමුව වැනි නාගරික පරිසරය, සංස්කෘතිය හඳුනාගෙන නොසිටියෝ ය. ඉරිදා දිනවල ලබන නිදහස මොවුන් භුක්ති වින්දේ ජීවිතය පිළිබඳ මන්ද බුද්ධික වූ යුවතියන් ලෙසිනි. මොවුහු කාමාතුරයන්ට ගොදුරු වූහ. රැවටිලිකාරයන්ට හසුවූහ. කටුනායක සංගීත සංදර්ශයන් අවසානයේ පිට්ටනි පුරා යටඇඳුම් හා උපත් පාලන කොපු විසිරී පැවතිණි. නරක නාමය ලැබුවෝ මේ තරුණියෝමයි. ගාමන්ට් කෙල්ලන් විවාහ කර නොගත යුතු බව ඔවුන් විනාශ කළ ඇත්තෝ ම ප්‍රචාරය කළහ. මාලයක් වළල්ලක් හදා ගැනීමට සොච්චමක් සොයා ගැනීමට කොළඹ පැමිණ, අඩු පඩියට ශ්‍රමය විකුණූ මේ තරුණියෝ මෙබඳු අභාග්‍යයකට උරුමකම් කීවෝය. (වර්තමානයේ තත්ත්වය එදාට වඩා යහපත් බව මෙහිදී සිහි කරමි.) එහෙත් මේ අභාග්‍යය ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට එකල නිර්මාණකරුවෝ අසමත් වූහ.

බන්දුල අතින් මෙබඳු නිර්මාණයක් බිහිවන්නේ එබඳු අවාසනාවන්ත පරිසරයක ය. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ විරෝධාකල්ප නිර්මාණ වලදී මෙන් ආවේගශීලී නොවී සංයමයෙන් තම නිර්මාණය ඉදිරිපත් කිරීමයි.

රෑ වැඩ මුරය අවසන්වන කණිසමට

නුඹෙ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට

අරුණලු කැරළි වැටෙනා සඳ අලුයමට

නුඹේ ලොවට රෑ වෙයි පෙර කළ පවට

උදෑසන වූ කලී දහසක් බුදුන් බුදුවෙන සුවහසක් මල් පූදින යාමයකි. එහෙත් රෑ වැඩ මුරය නිම කළ මේ කැලෑමල් කම්හලේ යකඩ ගේට්ටුවෙන් එළියට එන්නේ පර මල් ලෙසිනි. මුළුලෝකයට ම ඉර පායද්දී ඔවුන්ගේ ලොවට රෑ වෙයි.

රෑ එළිවන තුරු ශ්‍රමය කැපකළ ද මේ තරුණියන් ගේ ලෝකයට අරුණලු උදා නොවන බව මේ තුළින් ධ්වනිතවේ.

ශ්‍රමය රන් ආකාරයකි. ජීවත්වීමට ශ්‍රමය කැපකළ යුතුය. මාතෘ භූමියට ජාතික ධනය ගෙන ඒමට ශ්‍රමය පූජා කළ යුතුය. ඒත් එකල මේ තරුණියන්ට සිදු වූයේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා භුක්ති විඳීමට නොහැකිව සොච්චම් වැටුපකට තම තාරුණ්‍යය අලෙවි කිරීමටයි. රචකයා, මේ යෞවනියන් ගේ ඛේදවාචකය දෙස තම සානුකම්පිත ඇස යොමු කරයි.

තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ

නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ

මල්විය නොවෙද මේ දියකර හරින්නේ

මැෂිමද හිත ද මහ හයියෙන් හඬන්නේ

”දෑඟිලි නිදිවරන්නේ” යන යෙදුම වූ කලී අපූර්ව කාව්‍යෝක්තියකි. මැෂිම ළඟ නිදිමරන හුරුබුහුටි ඇඟිලි තුඩු වල උරුමක්කාරියන් ගේ ග්‍රාමීය සුන්දරත්වය විදුලි බල්බවල ප්ලෝරසන් ආලෝකය විසින් දවා හළු කරනු ලබයි. මල් වයස අකාලයේ දියවී යද්දී මැෂිමටත් වඩා හයියෙන් හිත හඬා වැටෙයි. හඬා වැටෙන්නේ මැෂිමද? නැතිනම් හිතද? යනුවෙන් නැගෙන ප්‍රශ්නය රසිකයා කම්පනය කරවන්නකි.

මේ යෞවනියන් ගේ සිහින මොනවාද? චේන්පොටක්, වළල්ලක්, කරාබු කුට්ටමක් කෙසේ හෝ මිලට ගැනීම, නංගිට මල්ලිට අධ්‍යාපනය දීම, වරිච්චි බිත්ති ගඩොලින් බැඳ ගැනීම, ලෙඩින් සිටින මවට, පියාට බෙහෙත් කිරීම, බැංකු පොතේ කීයක්වත් ඉතිරි කර ගැනීම මොවුන් ගේ සිහින අතර මුල් තැනක් ගනී.

ජීවත් වීමට නම් මොවුන් වැඩ කළ යුතුª ය. ඒ ගැන වාදයක් නොමැති ය. එහෙත් එකල ඔවුන් වැඩ කළේ වර්තමානයේ තරම්වත් යටිතල පහසුකමක් නැති කර්මාන්ත ශාලාවලයි. වැඩ ඇරෙන මොහොතේ පැක්ටරියේ ගේට්ටුව ළඟ මනමාල බමරු සැරිසරති.

බස් රථයකවත් නිදහසේ යා නොහැකි ය. මොවුහු නොදැනුවත්කම නිසාම විවිධ කාමාතුරයන්ට ගොදුරු වෙති. මහමඟ තනි ව යා නොහැකි ය. එකල කටුනායක නිදහස් වෙළඳ කලාපය කඳුළු කලාපයක් ම විය.

නුඹෙ කඳුළැලි ද සයුරේ රැළි නඟන්නේ

හද සුසුමන් ද පවනක් වී හමන්නේ

තනි නොතනියට හෙවණැල්ල ද සිටින්නේ

ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ

සාගරය පිරෙන්නට කඳුළු මේ යුවතියන් ගේ හදවත් තුළ පවතී. ඔවුන්ගේ සුසුමෙන් කුණාටුවක් නිර්මාණය විය හැකිය. නන්නාඳුනන නගරයේ මොවුන්ගෙ තනි නොතනියට සිටිනුයේ හෙවණැල්ල පමණකි. ඔවුන් මේ දුක් විඳින්නේ ඇඳුම මැසීමට නොව ජීවිතයේ ඉරුණු තැන් මසා ගැනීමටයි.

කලාකරුවකු ගේ සංවේදී බවෙහි උපරිමය මේ නිර්මාණය තුළ දක්නට හැකි ය. තමා ජීවත්වන සමාජ ආර්ථික දේශපාලන පරිසරයෙන් මතුකරන සමාජ ගැටලු රචකයා මනා ලෙස සංස්පර්ශ කරයි.

මේ නිර්මාණයේ සංගීතය හා ගායනය රචකයා ගේ අදහස් වඩාත් අර්ථවත් කිරීමට සමත් වී තිබේ. රෝහණ වීරසිංහයන් හවායින් ගිටාරය තුළින් මවන ස්වර රටා ඔස්සේ මේ ස්ත්‍රීන්ගේ හදවතෙන් නැඟෙන විලාපය ප්‍රතිරාව නැංවීමට සමත් වී තිබේ. එසේම ජනකවි තුළ එන වැලපුම් ගායනාහි හමුවන ස්වර රටා ගීතය පුරා ම දක්නට හැකි ය. පැරණි ජනකවියක් මේ මොහොතේ මට සිහිවෙයි.

”ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට

බොන්නේ බොරදියයි පූරුවෙ කළ පවට

යන්නේ කවදාද මව්පියො දකින්නට

ජනශ්‍රැතියෙන් පෝෂිතව ජන නාද රටා බටහිර සංගීතය සමඟ සම්මිශ්‍රණය කොට තම සංගීතමය ප්‍රාතිහාර්යය රෝහණ වීරසිංහයෝ මුළු නිර්මාණය පුරාම පතුරවති. සුනිල් එදිරිසිංහයෝ තම හඬ ඔස්සේ රසික හදවත් සසල කරවති.

ශ්‍රම සූරා කෑම එදා මෙන් ම අද ද අඩු වශයෙන් සමාජයේ පවතී. රටකට අවශ්‍ය වන්නේ ශ්‍රම අභිමානයයි. එසේ අභිමානවත් ලෙස ශ්‍රමය කැප කිරීමට හැකි රටක් බිහිවෙතොත් මේ ගීය අමතක කළ හැකිය. එහෙත් විඩාබර මුහුණින් සුසුම් හෙළමින් රෑ වැඩ මුරය පමණක් නොව දවල් වැඩමුරය නිමකර පැමිණෙන යුවතියක දකින වාරයක් පාසා මේ ගීය නින්නාද වනු වැළකිය නොහැකි ය.

ධම්මික බණ්ඩාර

~ by පොත් ගුල on September 6, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: