The Village in the Jungle

සිළිඳු අර්ධ වනචාරී අර්ධ ග්‍රාමීය චරිතයක්

මහාචාර්ය ජිනදාස දනන්සූරිය

උසස් නවකතාවක නිරූපිත චරිතයෝ කිසිසේත් ම හුදු මනඞකල්පිතයෝ නො වෙති. ඒ චරිත ඒකාන්ත වශයෙන් ම එහි වෛෂයික පදනම හා ඓන්ද්‍රිය ලෙස බැඳී පවතී. ඒ ගණයේ චරිත ලේඛකයන්ගේ කල්පනා ලෝකයන්හි ආශ්චර්යමත් ආකාරයෙන් උපත ලබන්නේ නො වේ. කිසියම් යුගයක ජීවත් විය හැකි මේ පණ ගැහෙන චරිත ලේඛකයන්ගේ සමාජ භාවිතයෙහි හා කලා තාක්ෂණය පිළිබඳ නිපුණතාවෙහි ප්‍රතිඵල වශයෙන් බිහි වන බව සඳහන් කළ හැකි ය.

සිළිඳු, ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle නවකතාවේ ප්‍රධාන චරිතය යි. 1913 වර්ෂයේ ඉංගි‍්‍රසි භාෂාවෙන් රචිත මේ නවකතාව පසුව ඒ. පී. ගුණරත්නයන් අතින් කෘතහස්ත ලෙස සිංහලයට නැඟී සිංහල නවකතාවක් තරමට ම මෙරට පාඨක ජනයා අතර ප්‍රචලිත විය. ඉංගී‍්‍රසි භාෂාවෙන් රචනා වුව ද The Village in the Jungle කෘතියෙහි මෙරට ස්වාභාවික හා සමාජ – සංස්කෘතික පරිසරය නිරූපණය වන හෙයින්, එය සිංහල නවකතාවක ගුණසපුවෙන් හෙබියේ වෙයි.

ලෙනාඩ් වුල්ෆ්

ලෙනාඩ් වුල්ෆ් නමැති බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධරයා වසර තුනක පමණ කෙටි කාලයක් මෙරට දකුණුදිග ශුෂ්ක කලාපයේ දිවි ගෙවීමෙන් ලත් ප්‍රබල හද කකියවන, අත්දැකීම් මේ නවකතාවට පාදක වී ඇත. මෙහි ප්‍රධාන චරිතය වන සිළිඳු අර්ධ වනචාරී, අර්ධ ග්‍රාමීය ගති ලක්ෂණ පළ කරයි.

සිළිඳු ගත කරන වනාන්තරයට වඩාත් නැඹුරු වූ ජීවිතයෙන් ඔහුගේ මනසෙහි ජනිත කෙරෙන සංකල්ප රූප ඔහු සිය දූවරුන් ඇමතීමට භාවිත කරන යෙදුම්වලින් ප්‍රකාශයට පත් වේ. ඔහු ඔවුන් අමතන්නේ, ‘ගෙඹි පැටික්කියෙ’ ‘කපුටු පැටික්කියෙ’ වැනි රූපකර්ථවත් ආමන්ත්‍රණ පදයන්ගෙනි. ඔහු වහරන ඒ බස ස්වාභාවික පරිසරය හා ඔහු අතර පවතින අභේද්‍ය, අවියෝජනීය සබඳතාව පිළිබිඹු කරයි.

බිරියගේ දරු ප්‍රසූතියෙන් මොහොතකට පසුව ඔහු ඇයට මෘග ලෙස පහර දෙන්නේ, ග්‍රාමීයත්වයෙහි සංයුක්ත වූ පියකු පිරිමි දරුවන් අපේක්ෂා කිරීමේ ආකල්පය හිසට නඟා ගනිමිනි. එහෙත් ඒ ග්‍රාමීය සමාජ ආකල්පයෙහි අන්තර්ගත වනචාරී ස්වභාවය ලෙනාඩ් වුල්ෆ්, සිළිඳුගේ මේ ක්‍රියාකාරිත්වයෙන් විශද කරලයි. ඒ අනුව ශිෂ්ටාචාරය වනචාරී ය. අනෙක් අතට වනචාරිත්වයෙහි ශිෂ්ටාචාරය ද ගැබ් වෙයි.

සිළිඳු වට කොට ඇත්තේ එක් පසෙකින් මහ වනය යි; අවිද්‍යාන්ධකාරය යි. අනෙක් පැත්තෙන් වාණිජත්වය හා යටත් විජිතවාදී පාලන තන්ත්‍රය යි. තමාට මෙන් ම දූ වරුන්ට හා බෑණනුවන්ට ද මේ නිර්දය බලවේගයන්ගෙන් එල්ල වන ප්‍රහාර හමුවේ ඔහු පෙරළිකාරී වෙයි. මෙහි රූපකාර්ථයෙන් ඉදිරිපත් වන කුළුමීහරකා නම්, අන් කිසිවකු නොව ඔහු ම ය. දඩයක්කාරයා යනු, නූගත් අසරණ ගැමි ජනයාට එරෙහි සියලු නාශක බලවේගයන්හි එකතුව යි. මේ දඩයක්කාරයා දෘෂ්ටිමය විෂ ද, බලය ද, අවිආයුධ ද දරා සිටියි.

නවකතාවක් යනු, හුදු විනෝදාත්මක මාධ්‍යයක් නො වේ. උසස් නවකතාවක ඒකාන්ත වශයෙන් ම ඥානනාත්මක අගයක් ද ගැබ් වේ. කිසියම් යුගයක දිවි ගෙවන මිනිසකු තත්කාලීන සමාජ – දේශපාලන සංස්ථානය සමඟ සම්මතය වන ආකාරය නවකතාකරුවා සෘෂිවරයකු මෙන් විනිවිද දක්නා නුවණින් යුතුව ප්‍රතිරූපණය කරයි.

එනයින් ඔහු සහෘදයන්ගේ ඥාන මණ්ඩලය පෘථුලත්වයට පත් කරලයි. ලෙනාඩ් වුල්ෆ් ද එවන් නවකතා රචකයෙකි. බැද්දෙගම නවකතාවේ නිරූපිත සිළිඳු, සහෘද මනසෙහි දිගු කලක් ජීවත් වීමේ ශක්තියෙන් හෙබියා වූ සජීවී, සප්‍රාණික චරිතයක් වන්නේ එහෙයිනි.

සිළුමිණ/පුන්කලස 15/08/2010

~ by පොත් ගුල on August 19, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: