ගොළු හදවත සමග දවසක්‌

“වැඩ හැකි” ළමුන් අතරේ සිටියද කිසිදාක මට පන්තියේ පළවැනියා වීමට හැකි වූයේ නැත. හේතුව අමල්ය. අමල්ගේ තාත්තා පාසලේ උප විදුහල්පතිවරයා වූ අතර මව අපේ පාසලේම ප්‍රබල ගුරුවරියක වූවාය. තම පාසලේ ගුරු යුවලකගේ හෝ ගුරුවරයෙකුගේ ළමයකු පංතියෙහි සිටී නම් ඔහුට වැඩි ලකුණු දීමේ සම්ප්‍රදායක්‌ එකල ගුරුවරු අනුගමනය කළහ.

අමල් අස්‌වී ගාල්ලේ ලොකු විද්‍යාලයකට යන තුරුම පංතියේ පළවැනියා වූයේ ඔහුය. මේ සම්ප්‍රදාය දැන් පාසල් පද්ධතියෙන් සහ ගුරු චර්යා පද්ධතියෙන් ඉවත්ව ගොස්‌ තිබීම ලොකු දෙයකි.

අද ළමා පොත් ඉතා බහුලය. පොත් සාප්පු වැඩිම ආදායමක්‌ ලබන්නේ ළමා පොත් විකිණීමෙනි.

නමුත් අපේ ළමා කාලයේ තිබුණේ ජී. බී. සේනානායකගේ මහා ලෝබයා හෝ මාර්ටින් වික්‍රමසිංහගේ මඩොල්දූව වැනි පොතක්‌ පමණි. පොත් වෙනුවට නරි නයිදේ ලබු කිරිබත් කෑ හැටි, හාවා සහ ඉබ්බාගේ දිවීමේ තරගය, ගමරාල දිව්‍ය ලෝකෙ

ගිය හැටි, වැනි කිසිදා අමතක නොවන කතා සරිත් සාගරයක්‌ අපට තිබිණි.

වර්තමානයේ තිබෙන කිසිදු ළමා කතාවකින් කුඩා කල අප ඇසූ ජනකතාවලින් විඳි චමත්කාරය විඳිය නොහැක.

මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් නිවස යළි ඔහුට භාරදීමේ උත්සවයක්‌ කොග්ගලදී පැවැත්වේ යනුවෙන් පුවතක්‌ මම දිණමිණ පත්‍රයේ දුටිමි.වික්‍රමසිංහ මහතා දැක ගැනීමේ විශාල ආශාවක්‌ මා තුළ තිබිණි.

දෙවන ලෝක යුද්ධය පැවති සමයේ කොග්ගල ගුවන් හමුදා කඳවුරක්‌ සාදනු පිණිස කොග්ගල ගමේ වැසියන් සියලු දෙනා ඉවත් කරනු ලැබීය. ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මහගෙදර ද තහනම් ප්‍රදේශයට යටත් විණි.නැවත එතුමාගේ කොග්ගල නිවස ඔහුට පවරා දීමේ උත්සවය යෙදී තිබුණේ 1962 වසරේ මාර්තු මාසයේ දිනකදීය.මේ උත්සවය බලන්නට ගියහොත් මාර්ටින් වික්‍රමසිංහ මහතා දැකගත හැකි වේ යෑයි මහත් ප්‍රීතියක්‌ මා තුළ ඉපදුනි.

මේ වන විට මගේ වයස අවු. 11 කි. 11 හැවිරිදි දරුවෙකුට මෙවැනි උත්සවයක්‌ බලන්නට යැමේ ඇති වුවමනාව කුමක්‌දැයි අපේ අම්මාට තේරුම් ගත නොහැකි විය.

නමුත් අම්මා මට ශත 50 ක්‌ දුන්නාය. ඒ කොග්ගලට බස්‌ එකේ යනු පිණිසය. මම ඒ ශත 50 සාක්‌කුවේ තබා ගෙන සැත. 6 ක්‌ දුර කොග්ගලට පා ගමනින්ම ගියෙමි. ඒ කඩයප්පන් කෑමට ශත 50 ඉතිරි කර ගැනීමේ අටියෙනි.

උත්සව භූමිය මහ ජනකායකගෙන් පිරී තිබිණි. කුඩා දරුවකු වූ මට වේදිකාව පෙනුණේ නැත. වික්‍රමසිංහ මහතාට මහගෙදර යතුර භාර දෙනු ලැබුයේ එවකට රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා විසිනි. කැමරාකරුවන්ගේ ආම්පන්නවල විදුලි ආලෝක මැද වික්‍රමසිංහ මහතා යතුර භාර ගන්නා මොහොතෙ මම ඔහු දිටිමි. සුදු කපු පුළුන් පෙදක්‌ සේ ඉදුණු කෙ

හෙරැල්ලෙන් යුතු ප්‍රතාපවත් ප්‍රෙෘඪ කළු පැහැ මුහුණකින් හෙබි ඒ මහා පුරුෂයා දැක්‌ම මට මහත් සතුටක්‌ දනවන්නක්‌ විය.

ගුණදාස අමරසේකර මහතා මුලින්ම මා දුටුවේ එදා ඒ උත්සවයේදීය. එකල අමරසේකර මහතා බොහෝ තරුණය. සිනමා රසිකයෙක්‌ ගාමිණී ෆොන්සේකා හෝ සන්ධ්‍යා කුමාරි ඇසින් දැකුමෙන් දකින සතුට යම් සේද, මාර්ටින් වික්‍රමසිංහ සහ ගුණදාස අමරසේකර දැකුමෙන් මමද එවන් සතුටක්‌ වින්දෙමි.

අප ලෝකය දුටුවේ පොත්පත් ඔස්‌සේය. ඒ ලෝකය සහ ජීවිතයේ යථාව මෙන්ම චමත්කාරය ද ප්‍රදානය කළ ලේඛකයා දැක්‌මෙන්, පොත් රසිකයෝ ආමන්දනයට පත්වෙති.

කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත, 60 දශකයේ තරුණ පරම්පරාවේ අතිශයින්ම සිත් ගත් නවකතාව විය. දම්මිගේ සහ සුගත් ගේ ශෝචනීය පෙම් පුවත තරුණ පරපුරේ පෙම්වතුන් වූ අපේ තේමා ගීතය විය.

ගොළු හදවත දෙතුන් වතාවක්‌ම කියෑවීමෙන් මුසපත් වූ මම ජයලත් මහත්මයාට දීර්ඝ ලිපියක්‌ ලියා යෑවීමි. ඔහුගේ අත් අකුරින් පිළිතුරක්‌ ලැබෙනතුරු මම මාස ගණනාවක්‌ම බලා සිටියෙමි. නමුත් ජයලත් මහතාගේ අත් අකුරින් යුතු ලියුමක්‌ මට කිසිදා

ලැබුණේ නැත. ඒ ලියුම මා ඔහුට ලීවේ වයස 14 දී පමණය.

කාලයාගේ ඇවෑමෙන් දිවයින ඉරිදා සංග්‍රහයේ ලේඛකයෙකු වූ මට මෙරට ප්‍රවීන ලේඛකයන්ගේ වත ගොත සහිත ලිපි පෙළක්‌ ලිවීමේ අවස්‌ථාව ලැබිණි. ඒ ලේඛක නම් වැලට මම කරුණාසේන ජයලත්ගේ නමද එකතු කර ගත්තෙමි.

දුරකථනයෙන් කතා කර ගත් පරිදි එක්‌ සෙනසුරාදාවක හොරණ පොකුණුවිට බලා අපි ගියෙමු. ඔහුගේ ගෙමිදුලට පා තබන විට උඩුකයට කමීසයක්‌ නොමැතිව සරමක්‌ පමණක්‌ හැඳි “සුගත්” ලණුවකින් බැඳි පොල්පිති හරකෙකු ඇද යමින් මුණුබුරෙකු සමග සෙල්ලම් කරමින් සිටියේය.පංතිකාමරයේ කොටු යකඩ දැල අතරින් දිගු කළ වෙරළු අහුරෙන් සුගත්ගේ හද පෙමින් සසල කළ දම්මි, විභාගය අවසන් වූදා මුහුදු වෙරළේ දී මට සමාවන්නැයි කියා මහා දුකක්‌ දී සුගත් තනිකර ගියාය.

මා දකින්නට ගියේ ඒ සුගත්ය.

අප බොහෝ වේලාවක්‌ කතා බහ කළෙමු. නමුත් ඔහු කතා කරන්නට අකැමැතිම වූයේ “දම්මි” ගැනය. (සමහර විට ඒ වෙලාවෙ ඔහුගේ බිරිඳ රූපා ගෙදර සිටිය නිසා විය යුතුය.)

මා විශ්මයට පත් කළ දෙය නම් ඔහු මා ඉදිරියේ මත්පැන් බෝතලයකුත් තැම්බූ කඩල වට්‌ටියකුත් ගෙනැවිත් තැබීමය. මගේ ශිෂ්‍ය අවධියේ කරුණාසේන ජයලත් පෙනුණේ ඉතා විශාල මිනිසෙකු ලෙසටය. ළංවිය නොහැකි මිනිසෙකු ලෙසය.

ඒ දැවැන්ත මිනිසා සමග මත්පැන් උගුර බැගින් තොලගාමින් කෙරුණු ඒ සාමීචිය මා වැන්නෙකුට කෙතරම් මනරම්දැයි ඔබට සිතා

ගනු හැකි විය යුතුය.

සමුගැනීමට පෙරාතුව ඔහුගේ අත්සන සහිතව “ගොළු හදවත” නවකතාවේ පිටපතක්‌ මම ඉල්ලා සිටියෙමි. එපරිද්දෙන්ම මගේ නම ලියා තම අත්සන යොදා “ගොළු හදවත” පොතක්‌ ඔහු මට තෑගි කළේය.

බොහෝ පොත් ත්‍යාග වශයෙන් මම ලබා ඇත්තෙමි. නමුත් කරුණාසේන ජයලත්ගේ අත්සන සහිත ඒ ගොළු හදවත මට කෙතරම් වටිනේද යත්, පොත් කොල්ලකරුවන්ගෙන් එය රැකගනු පිණිස සුරක්‌ෂිත අල්මාරියක ලා තවමත් සඟවා ගෙන සිටිමි. මේ කරුණු සත්‍යදැයි යළි විමසිය නොහැකි මියගිය පුද්ගලයකු ගැන සඳහන් කරමින්, නයා දානවා යෑයි කෙනෙකු සිතන්නට පුළුවන.තමුන් ජයලත් මහත්මයා ගැන කතාව ලීවේ වැදගත් දෙයක්‌ කියනු පිණිසය.

තරුණ ප්‍රේමය පදනම් කොට ගත් නව කතාවක්‌ ලියන්නට නම්, ලේඛකයා ද තරුණයෙකු විය යුතු යෑයි බොහෝ දෙනා සිතති. තරුණ ප්‍රේමය තේමා කොට ගෙන නවකතා කිහිපයක්‌ ලියා ඇති මා භද්‍ර යෞවනයේ තරුණයෙකු යෑයි බොහෝ යහළුවෝ සිතූහ. එහෙත් මා

මුණ ගැසුණු කල්හි ඒ පාඨකයෝ” අනේ මේ ලේඛකයා මහල්ලෙකු නොවේදැයි මුසුප්පු වෙති.

දම්මි – සුගත් ආදර අත්දැකීම ජයලත් අත්විඳිනු ලැබුයේ ඔහු පාසලේ සාමාන්‍ය පෙළ හදාරන අවදියේදීය. නමුත් ඔහු ඒ අත්දැකීම නවකතාවක්‌ ලෙස ලීවේ ලංකාදීපයේ රැකියාවට ගොස්‌ රූපා සමග විවාහ වීමෙන්ද අනතුරුවය. රාත්‍රියේ ගෙදර පැමිණ ගොළු හදවත ලියමින් ඒවා නැවත හොඳ අත් අකුරින් ලියා තැබීම ඔහු භාර කළේ තම බිරිඳටය.

දම්මි තමන්ට පිටුපා ගිය සැනින් ජයලත් මේ නවකතාව ලීවේ නම්, එය ඉතා ආවේගකාරී බොළඳ විලාසයක්‌ වනු ඇත.

දම්මි – සුගත් කතාව වසරේ හොඳම නවකතාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඔහු ජීවිතයේ පරිපාකයට පත්වූ පසු ලිවීම ඇරඹූ නිසාය.

හොඳ නිර්මාණයක්‌ යනු සිතුවිලි කල්පනා සමග මෝරා අවුත් නිසි කල්හිදී කිරිල්ලියක

ගේ කුසින් නික්‌මෙන බිජු වටක්‌ වැන්න.

මෙවර ඇසිදිසි මානය බොහෝ දිගු විය. ජීවන ගමනෙහි දුර කෙටි වන බව පෙනෙන කල්හි මිනිසෙකු හුඟක්‌ දේ කතා කරන්නට තතනන බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ/ඇසි දිසි මානය

~ by පොත් ගුල on August 8, 2010.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: