සුලබ සිනමාව අතික්‍රමණය කරන්නට දැරූ වෑයමක් හෙවණැලි ඇද මිනිස්සු

•February 7, 2011 • Leave a Comment

ස්වකීය පළමු පිවිසුම හරහා ම ප්‍රතිභාසම්පන්න අනාගතයක ලක්ෂණ සූක්ෂම ව හා නිශ්චිත ව ප්‍රකට කළ නිර්මාණකරුවන්ගෙන් ලාංකික කලාව පොහොසත් ය. කෙසේ වුවද වඩාත් ම වැදගත් වන්නේ එම අපේක්ෂා ප්‍රායෝගික තලයේදී දුර්මුඛ නොවී පැවැතීම යි. ඒ බලාපොරොත්තු හා යථාර්ථය අතර බරපතළ වෙනස්කම් වුව පවතින්නට ඕනෑ තරම් ඉඩකඩ පවතින හෙයිනි.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර අද දවසේදී ලාංකික කලාව විෂයයෙහි ඉටු කරමින් සිටින්නේ විටෙක ශාස්ත්‍රීය වූද, විටෙක විවාදාත්මක වූද, නිර්මාණශීලී වූද, නිර්දය ප්‍රහාර ආදියට ද නොමඳ ව ලක් වන පෘථුල කාර්යභාරයකි.

ඒ බව ඔහුගේ ප්‍රථම නවකතාව වන වර්ෂ 1964 දී ප්‍රකාශිත ‘හෙවණැලි ඇද මිනිස්සු’ වෙතින් සූක්ෂම ව හා නිශ්චිත ව නිරූපණය වේ. 1964 වර්ෂය තුළ දී ප්‍රකාශිත හොඳම නවකතාවට සේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයෙන් එය ලද සම්මානය තැබිය හැක්කේ ද ඇත්තෙන් ම ඊට යටත්ව ය.

‘හෙවණැලි ඇද මිනිස්සු’ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ පාර්ශ්වය අනුදත් සම්භාව්‍ය නවකතා ප්‍රවණතාව හා නොබැඳෙයි. එමතු ද නොව සමකාලීන ව ප්‍රකට ව තිබූ ‘පේරාදෙණි සාහිත්‍ය’ සතු අංගෝපංග ද එහිලා තීරණාත්මක ව දක්නට නො ලැබෙයි. වසර බොහෝ ගණනකට පසුව ‘හෙවණැලි ඇද මිනිස්සු’ යළි කියවද්දී හැඟී යන්නේ එය යට කී දෙපාර්ශ්වය ම අවබෝධයකින් යුතු ව ඇසුරු කළ නවකතාවක් වන බව ය.

‘හෙවණැලි ඇද මිනිස්සු’ ලියැවෙන්නේ විඥානධාරා රීතියෙනි. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙනි. එනිසාම නිශ්චිත චරිතයක් මූලික වෙයි. පාඨකයාට සිදුවන්නේ ඔහුගේ ඇසින් කතුවරයා මවන ලෝකය දකින්නට ය. එය විනිවිද දකින්නට ය. විශ්ලේෂණය කරන්නට ය. විග්‍රහ කරන්නට ය. කතුවරයා සිය ප්‍රධාන චරිතයේ සිතුම් පැතුම් වචන වලට පෙරළන්නේ නිදහස් ව ඒවා ගලා යන පරිද්දෙනි. සිතුවිලි ගලා යන්නේ යම් ස්ථිතික හැඩයකින් තොරව ය. මේ නවකතාවේ මූලික රූපය ද එබඳු ය.

සමකාලීන නාගරික මධ්‍යම පන්තික ජීවිතය යි ‘හෙවණැලි ඇද මිනිස්සු’ ට විෂය වන්නේ. ප්‍රධාන චරිතය නාගරික මධ්‍යම පන්තික පවුලක තරුණයෙකි. හේ වික්ටර් ය. වැඩිහිටි පාසල් සිසු අවදියේ සිට පෙම්වතකු වීම දක්වා ද, ඉනික්බිතිව විවාහකයකු දක්වා ද වික්ටර්ගේ චරිතය විකාශය වෙයි. මේ ඔස්සේ සමකාලීන නාගරික මධ්‍යම පන්තික ජීවිතයේ බාහිර ලක්ෂණත්, අභ්‍යන්තරයත් හඳුනා ගන්නට කතුවරයා දරන ප්‍රයත්නය දෘඪතර ය.

නවකතාවක දී මෙබඳු පිළිවෙතක් සාර්ථක කර ගැනීමට ඇති අවකාශය සුළුපටු නැත. නවකතාකරුට ප්‍රමාණාත්මක සීමා පැන නොනඟන තරම් ය. වචන හසුරුවාලීමේ සමත්කම අනුව ජීවිතයේ හෝ සමාජයේ හැම අහුමුල්ලක් වෙත ම යන්නට ඔහු සමත් වනු ඇත. මේ සමත්කම් පිළිබිඹු වන්නේ නවකතාවේ ඒකමිතිය අරබයා ඔහු දැක්වූ නිහඬ අවධානයේ ප්‍රමාණය වෙතිනි. ‘හෙවණැලි ඇද මිනිස්සු’ විශිෂ්ට නවකතාවක ලක්ෂණ පමණක් නොව ගැඹුරු ආස්වාදයක් ලබමින් පරිශීලනය කළ හැකි නවකතාවක් ද වන්නේ ඒ නිසා ය.

සිනමා මාධ්‍යය කරා මෙබඳු නවකතාවක් ගෙන යාම අතිශය අසීරු අවදානම් සහගත කටයුත්තක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ’ කෘතහස්ත සිනමාකරුවකු වුවද මෙබන්දක් ගැන දෙවරක් සිතනු ඇත. ඇරත් සිනමාවේ ධනෝපායන අවශ්‍යතා හා මෙබඳු නවකතා විෂය කර ගැනීම අතර ඇත්තේ දැවැන්ත පරතරයකි. නියත වශයෙන් ම මෙබඳු නවකතා සේම ඒවා විෂය කර ගත් සිනමාපට ද ඇසුරු කරන්නට උත්සුක වන්නේ සංකීර්ණ අත්දැකීම් පි‍්‍රය කරන, ඉහළ රසඥතාවක් හිමි පාර්ශ්ව බව සැබෑ ය. කෙසේ වත් ඔවුන් බහුතරය ද නොවේ.

තමන්ගේ ප්‍රථම වෘත්තාන්ත සිනමාපටය සඳහා ‘හෙවණැලි ඇද මිනිස්සු’ බඳු නවකතාවක් විෂය කර ගැනීමේ අභියෝගය පරාක්‍රම ද සිල්වා භාර ගන්නේ යථොක්ත පසුබිම තුළ විද්වත් රසික ප්‍රජාව තිගැස්සවමිනි.

සිනමාපට නිෂ්පාදනය හා ප්‍රදර්ශනය අතර පවතින නොඑකඟතාව කෙසේ වතුදු පරාක්‍රමගේ මේ සිනමාපටය ‘හෙවණැලි ඇද මිනිස්සු’ ප්‍රදර්ශනයට එක් වන්නේ ලාංකික සිනමාවේ නිර්මාණශීලී නැඹුරුවක් ප්‍රබලාකාරයෙන් සනිටුහන් වූ වර්ෂ 1980 දීය.

‘හෙවණැලි ඇද මිනිස්සු’ සිනමාවට නැඟීම සම්බන්ධයෙන් පරාක්‍රම දැක්වූ අදහස් නවකතාව හා සිනමාව අරභයා ඔහු තුළ වූ අවබෝධයේ ප්‍රමාණය අවධාරණය කරයි. සිනමාව කතා කීමේ කලාවෙන් මුදවා ගැනීමට මෙහිදී තමා අපේක්ෂා කළ බව යි පරාක්‍රම කියා සිටින්නේ.


සිනමාපටය විෂයයෙහි අනු පිළිවෙළක් බාහිර වශයෙන් දක්නට නොමැති බවත්, එහෙත් සමස්තයක් ලෙස අභ්‍යන්තරික කතා අනු පිළිවෙළක් දැක ගත හැකි බවත් ඉනික්බිතිව ඔහු පවසන්නේ සත්තකින් ම නවකතාවේ යථා ස්වභාවය මනාව වටහා ගෙන ඇති බව ඉඟි කරමිනි.

(මෑන්හයිම් යන ‘හෙවණැලි ඇද මිනිස්සු’ ‘සරසවිය’, 1980.09.19 සාකච්ඡා කළේ : සුනිල් හොරේෂස්)

මේ අනුව පරාක්‍රම, වික්ටර්ගේ චරිතය පිළිබඳ මනා පූර්ව අවබෝධයකින් ද පසුවූ බව පෙනේ. ඇත්ත වශයෙන් ම සිනමාපටයට සාධාරණයක් ඉටුවන්නේ ම වික්ටර්ගේ චරිතය නිවැරැදි ව විකාශය වීම පාදක කොට ගෙන ය. සිතුවිලිවලට – හැඟීම්වලට මුල් තැන දෙන මෙබඳු චරිතයක් ශ්‍රව්‍ය – දෘශ්‍ය මාධ්‍යයකට පෙරැළීමේදී වඩා සාර්ථක වන්නට ප්‍රවීණ සිනමාකරුවන් සතු අවකාශය ඉමහත් ය. කෙසේ නමුදු පරාක්‍රමට මීට සමාන අතීත අත්දැකීම් ද තිබූ බව සඳහන් කිරීම වටී.

පරාක්‍රම වර්ෂ 1971 දී නිර්මාණය කළ ‘භග්න ආශා’ කෙටි සිනමාපටයට විෂය වූයේ ද නිශ්චිත පුද්ගලයකුගේ අභ්‍යන්තරික ස්වරූපය යි. ඊට පිටුබලය සැපයූ ගුණදාස අමරසේකරගේ ‘ධර්මසේන’ නැමැති කෙටි කතාව පරාක්‍රමගේ ගැඹුරු අධ්‍යයනයකට ලක් ව තිබිණ. වර්ෂ 1971 ලංකා චිත්‍රපට විචාරක හා ලේඛක සංගමයේ කෙටි චිත්‍රපට සම්මාන උළෙලේ දී ‘භග්න ආශා’ට විචාරක සම්මානයක් පිරිනැමීමෙන් ම එය සනාථ වේ.

පරාක්‍රම ද සිල්වා

‘හෙවණැලි ඇද මිනිස්සු’ සිනමාපටයේ දී වික්ටර්ගේ සිතිවිලි නිරූපණය සඳහා පසුබිම් කථනය යොදා ගන්නට පරාක්‍රම උත්සුක විය. මේ සිනමා මාධ්‍යය සතු ප්‍රකාශන ශක්‍යතාවේ තරම නොදැන කළ කටයුත්තක් සේ දැකීම සුදුසු නොවේ. සැබැවින්ම ඒ අත්හදා බැලීමකි. කොහොමත් ‘හෙවණැලි ඇද මිනිස්සු’ සැලකෙන්නේ පර්යේෂණාත්මක සිනමාපටයක් ද ලෙසිනි. මහජන ප්‍රදර්ශනය සඳහා සිනමාශාලා කරා මුදාහරින වෘත්තාන්ත සිනමාපට, පර්යේෂණාත්මක අවස්ථා බවට පත්වන්නේ කලාතුරකිනි.

නවකතාවේදී වික්ටර්ගේ චරිතය හඳුන්වා දෙන්නේත්, විකාශය කරන්නේත් සමකාලීන නාගරික මධ්‍යම පන්තියේ බලාපොරොත්තු, ඉරණම හා හැඟීම් පිළිබිඹු කෙරෙන ආකාරයකට ය. ඒ අනුව වික්ටර් සමකාලීන නාගරික මධ්‍යම පන්තියේ පිළිබිඹුවක් බවට පත් කරලන ආකාරය විද්‍යමාන වේ.

නවකතාවේ එන වික්ටර් 1960 දසකයේ තරුණයෙකි. සිනමාපටයේ වික්ටර් ජීවත් වන්නේ 1970 දසකයේ ය. 1980 දසකය කරා ශ්‍රී ලාංකික සමාජය ගමන් කරන්නේ පුද්ගල ජීවිතයේ හා සමාජ ජීවිතයේ තියුණු පරිවර්තන ද, උඩු යටිකුරු වීම් ද සමඟ ය.

සිනමාපටය ප්‍රදර්ශනයට එක් වන්නේ මේ බව ශීඝ්‍රයෙන් පසක් කර ගත හැකි වටාපිටාවක යි. පරාක්‍රම මේ කෙරෙහි අවධානය යොමු නොකරන්නේ සිනමාපටයේ මූලික අදහසත්, ආකෘතියත් පර්යේෂණාත්මක ස්වරූපය තුළ ම බහාලීමේ ආධ්‍යාශය නිසා විය යුතුය.

බොහෝ සමාජ දේශපාලන විමර්ශන මෙරට නාගරික මධ්‍යම පන්තිය කෙරෙහි සුහද ආකල්පයක් නොදක්ව යි. පොදුවේ මධ්‍යම පන්තික ආකල්ප – වටිනාකම් බැහැර කෙරෙන අවස්ථා සුලබ ය. මධ්‍යම පන්තිය ප්‍රශස්ත සමාජ පරිවර්තනයකට බාධා පමුණුවන බව නිතර කියැවේ.

පරාක්‍රම මේ අරබයා සැලකිලිමත් වන්නේ නවකතාවට ද යුක්තිය ඉටු කරලන්නට මහන්සි ගනිමිනි. සමකාලීන නාගරික මධ්‍යම පන්තිය වික්ටර් හරහා පරාක්‍රම දකින්නේ පෙර කී මාදිලියේ දැක්මක පිහිටා නොවේ.

වික්ටර් එක්තරා ආකාරයකින් තමා වෙසෙන පන්තියේ පිටස්තරයෙකි. එහෙත් ඔහු භෞතික ව තමාට උරුම වූ දෑ ප්‍රතික්ෂේප නොකරයි. ඔහු තුළ උපදින මතවාද නිතරම සුපුරුදු මධ්‍යම පන්තික ආකල්ප හා ගැටේ. තවදුරටත් ඔහුට සිදුවන්නේ තමාව පිටස්තරයකු කළ මේ මධ්‍යම පන්තිය තුළම වෙසෙන්නට ය.

භෞතික විතැන් වීමකින් තොර මතවාදී පරිවර්තනයක් ප්‍රකට කරන ගුණාත්මක බව පිළිබඳ සාකච්ඡාවකට වික්ටර් මනා නිමිත්තකි, සැබැවින්ම එය සිනමා පටයේ එන අප්‍රකාශිත අරමුණක් ද වේ.

ආරම්භයේ දී වික්ටර් වැඩිහිටි පාසල් ශිෂ්‍යයෙකි. ඉක්මනින්ම ඔහු තම පන්තියට අයත් යුවතියක හා පෙමින් බැඳෙයි. ඉනික්බිතිව ඔවුහු විවාහ වෙති. එක් අදියරකදී මේ ජීවිතය අවුල් ජාලාවක් වන්නේ පුද්ගල හා සමාජ ජීවිත නිරූපිත සම්මත ආකෘති ආදිය අභියෝගයට ලක් කරමිනි.

වරෙක සමච්චලයට ලක් කරමිනි. හෑල්ලුවට ලක් කරමිනි. මධ්‍යම පන්තික ස්ත්‍රී – පුරුෂ සබඳතා සතු ව්‍යාජ ලකුණු නොසඟවා ප්‍රකාශයට පත් කරමිනි. නවකතාව නිමා වන්නේ වික්ටර් ඉරි කැබලි බහුල ජනෙල් වීදුරුවක් දෙස බලා සිටින අවස්ථාවක් සමඟ ය. මේ නිසි පිළිවෙළක් රහිත ඉරි කැබලි රාශියකි.

පරාක්‍රම උනන්දු වන්නේ සිනමාපටයකට වඩා උචිත ආකාරයේ අවසානයකට වික්ටර් ව කැඳවන්නට ය. වික්ටර් රැඳී සිටින්නේ පාළු මුහුදු වෙරළකයි. අපැහැදිලි රූප වෙළක් ඔහු අතින් වැල්ල මත ඇඳේ.

එක් මාධ්‍යයකින් ප්‍රකාශිත නිර්මාණයක් තවත් මාධ්‍යයකට පෙරැළීමේදී ඇතැම් වෙනස්කම් කරන්නට ද සිදුවේ. ‘හෙවණැලි ඇද මිනිස්සු’ ද ඒ බව පවසයි. බොහෝ විට සිදුවන්නේ මුල් නිර්මාණයේ හිමිකරු අසතුටට පත් වීමයි.

මෙහිලා සුනන්ද මහේන්ද්‍ර ද පවසන්නේ තමාගේ අරමුණු සිනමාපටය තුළ දැක ගත නොහැකි බවය. තමා අදහස් කළේ වික්ටර්ගේ හා ඔහුගේ පවුලේ අර්බුදය සමාජ බිඳ වැටීමක් ලෙස පෙන්වීම බවත්, එහෙත් පරාක්‍රම එය පෞද්ගලික බිඳ වැටීමක් සේ නිරූපණය කළ බවත් ඔහු තවදුරටත් පවසයි. එසේ වුවද සිනමාකරු පරාක්‍රම සතු අයිතියට ඔහුගේ ගෞරවය හිමි වේ.

(සුලබ සිනමාවෙන් බැහැර වීමේ වෑයමක් – සුනන්ද කියයි, ශ්‍රී ලංකාදීපය, 1980.11.09)

කෙසේ නමුදු වික්ටර් ගේ පුද්ගලිකත්වය හුදෙක් ඔහුව ම හුවා දැක්වීමේ අධ්‍යාශයකින් තොරව වටහා ගත හැකි ඉඩක් සිනමාපටය තුළ දැක ගත හැකිය. ඇත්තෙන්ම සිනමාපටයේ එන වික්ටර් බැලූ බැල්මට දෘශ්‍යමාන පුද්ගල රූපයකි. නියත වශයෙන් ම එය විනිවිද යා යුතුය. වික්ටර් නාගරික මධ්‍යම පන්තික නිෂ්පාදනයක් බව ඥානනය කර ගත හැක්කේ ඉනික්බිතිව යි.

සිනමාපටයේ නිර්මාණශීලී මට්ටම සහතික කෙරෙන්නේ වික්ටර්ගේ චරිතය ගොඩනැඟෙන ආකාරය අනුව ය. වඩා සුදුසු රංගන ශිල්පියකුගේ දායකත්වය සිනමාපටය ඉල්ලා සිටින්නේ චරිත මූලික ස්වභාවය හා අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මනා සැලකිල්ලක් දක්වාවියැයි යන විශ්වාසය ද නිසයි.

ධර්මසිරි බණ්ඩාරනායක වික්ටර් ගේ චරිතය නිරූපණය කරන්නේ සාම්ප්‍රදායික දැක්මකට හසු නොවන්නට ද ඉඩ ඇති ආකාරයෙනි. සමකාලීන ව ධර්මසිරි ‘පළඟැටියෝ’ හා ‘හංස විලක්’ යන සිනමාපට සඳහා දායක වූයේ ද විකල්ප හෝ වෙනස් මාදිලියේ රංගන කාර්යයක් ප්‍රකට කරමින් ය.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගේ පසුකාලීන සාහිත්‍ය කාර්යයන් වක්‍රව ‘හෙවණැලි ඇද මිනිස්සු’ සඟවා ඇතැයි සිතේ. එක්තරා ආකාරයකින් ‘හෙවණැලි ඇද මිනිස්සු’ සිනමාපටයට ද සිදුවූයේ සඟවා තැබීමේ අවශ්‍යතාවකට නතු වන්නට යි.

1980 වසරේදී මුල් වරට ප්‍රදර්ශිත ‘කරුමක්කාරයෝ’, ‘හංස විලක්’, ‘පාර දිගේ’, ‘ගඟ අද්දර’ හා ‘හෙවණැලි ඇද මිනිස්සු’ බොහෝ විචාර ප්‍රතිචාර ලද බව සත්‍යයකි. එහෙත් සම්මාන ආදිය හරහා ඒවාට නිල වටිනාකම් පිරිනැමුවේ හෝ පිරි නොනැමුවේ ප්‍රතිවිරෝධතා සහිතව ය. ‘හෙවණැලි ඇද මිනිස්සු’ ඉන් බැට කෑ මුල් පෙළේ සිනමා පටයකි.

වික්ටර් බඳු චරිත අද ද නාගරික මධ්‍යම පන්තිය තුළ සුලබ ය. විටෙක ඒවා පුද්ගල රූප ම නොවේ. අදහස් මාලාවකි. හැඟීම් සමුදායකි. නවකතාව ද, සිනමාපටය ද තව දුරටත් කල් ඉකුත් නොවන්නේ වික්ටර්ගේ චරිතය යථොක්ත පරිවර්තන හරහා සක්‍රිය ව පවතින හෙයිනි.

තුසිත ජයසුන්දර

පරිවර්තන සාහිත්‍යයේ සොඳුරු ආඥාදායකයා

•January 31, 2011 • Leave a Comment

මුනිදාස සෙනරත් යාපා

අත් දිග කමිසයකින් හා කලිසමකින් සැරසුණු හීන්දෑරි උස මහතෙක් දිනපතා ම ඉංගිරියේ සිට කොළඹට බසයෙන් එයි. ඇඳුමෙන් මතු නොව කතාබහෙන් හා පෙනුමෙන් ද හෙතෙම බටහිර පන්නයේ උගතකු සේ පෙනෙයි.

ඔහු මෙසේ නිතිපතා ඉංගිරියේ සිට කොළඹ එන්නේ ඉංග්‍රිසි උගන්නන්නටය. ඉංග්‍රිසියට නමක් දිනූ කොළඹ මරදානේ ස්ටැෆඩ් තක්සලාවේ දිසාපාමොක් ඔහු ය.

සුද්දන්ගේ භාෂාව ඇතැඹුලක් සේ දැන හැඳිනගත් මේ ඇදුරාණන්ට දිනක් ඔහුගේ මිතුරෙක් අපූරු යෝජනාවක් කළේ ය.

”තමුසෙගෙ ඔය සාහිත්‍ය අවබෝධයයි භාෂා ඥානයයි පාවිච්චි කරලා හොඳ පොතක් දෙකක් සිංහලට පරිවර්තනය කරනවකො” අයිසෙ.

”ඉංගිරිසි නම් ටිකක් පුළුවන් තමා. ඒ වුණාට මම දන්න සිංහලක් නැහැ අයිසෙ පොතක් පරිවර්තනය කරන්ඩ තරම්”

මේ අපූරු යෝජනාව ඉදිරිපත් කළ මිතුරා නම් ප්‍රකට පුවත්පත් කලාවේදියකු වන ජී.ආර්.වික්‍රමසිංහයන් ය. යෝජනාව භාරගැනීමට මැලිකම් දැක්වූ ඇදුරාණන් වූ කලී, පසු කලෙක රට පරසිදු ග්‍රන්ථ පරිවර්තකයකු වූ මුනිදාස සෙනරත් යාපා සූරීන් ය.

කෙසේවතුදු මිතුරු වික්‍රමසිංහයන් ගේ යෝජනාව අපතේ ගියේ නැත. අප ඇදුරාණෝ සිංහල භාෂා ඥානය ප්‍රගුණ කරගැනීමට අදිටන් කරගත්හ. ඔහු වහා බම්බලපිටිය වජිරාරාමයට ගොස් පෙරදිග භාෂාවන් පිළිබඳ ප¼ඩිරුවනක් වන පැලෑනේ වජිරඤාණ මහ නා හිමියන් සෙවනේ බස හැදෑරීම ඇරඹීය.

සිංහල නවකතාවේ සක්විති ඩබ්ලිව්.ඒ.සිල්වා ද ඔහුට වජිරාරාමයේදී මුණගැසිණ. සිල්වා සූරීන් ද නා හිමියන්ගේ ගෝලයෙක් විය. සිල්වා මුනිදාස මිත්‍ර සන්ධානයට මුල පිරෙන්නේ මෙලෙසිනි.

මුනිදාස සිංහල භාෂාවට පෙම් වඩන්න වූයේ පාසල් වියේදී ම ය. උදේට ගමේ පාසලට ගිය ඔහු හවස් වරුවේ ඉංගිරියේ විද්‍යාවර්ධන පිරිවෙනට ගොස් භාෂා ඥානය ඔප්නංවා ගත්තේ ය. ඒ, වියත් පඩිවරයකු වූ ඉංගිරියේ ශ්‍රී ධර්මාරාම හිමියන් වෙතිනි. එහෙත් ග්‍රන්ථ පරිවර්තකයකු වීමට නම් භාෂාද්වයෙහි ම පරතෙරට පැමිණිය යුතු යැයි ඔහු තීරණය කර සිටියේය.

පසු කලෙක අප රටෙහි පරිවර්තන සාහිත්‍යයේ දැවැන්ත චරිතයක් බවට පත්වූ මුනිදාස සෙනරත් යාපා ඇති – හැකි පැලැන්තියට අයත් කෙනෙක් නොවේ. වෙද පරපුරක සාමාජිකයකු වුව ද මුනිදාසයන්ගේ පියා සාමාන්‍ය ගැමියෙක් විය. පොඩි පොඩි කොන්ත්‍රාත් වැඩවලින් ජීවිතය ගැට ගසා ගනිමින් සිය බිරියගේ ගම වන ඉංගිරියේ ජීවත් වුව ද දරුවන්ට සුවපහසු නිවහනක් තනාදීමේ හැකියාවක් ඒ පියාණන්ට නොවීය.

එහෙත් ඒ කුඩා නිවහනේ දී දැවැන්ත ග්‍රන්ථ කිහිපයක් දැන හඳුනාගැනීමේ භාග්‍යය දරුවන්ට හිමි විය. කියවීමට ඇලුම් කළ පියා ජාතක පොත, පංච තන්ත්‍රය බඳු කෘති ඇසුරු කිරීම හේතු කොට ගෙන බහ තෝරන වියේදීම අප ලේඛකයා ද ඒවායෙහි දිග පළල දැකබලා ගත්තේ ය.

අද කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලය එදා හැඳින්වුණේ කොටහේන ද්විභාෂා පාඨශාලාව නමිනි. පවුලේ දරුවන් අතර ශිල්පයෙහි වඩාත් සූරකම් පෑ මුනිදාසයන්ට ඉංගි‍්‍රසි අධ්‍යාපනය ලබාදීම වැදගත් යැයි කල්පනා කළ පියතුමා, යාපා වෙද මහත්තයා නම් ප්‍රකට ව එකල කොළඹ පනික්කි වීදියේ විසූ සිය වැඩිමහල් සොහොයුරා වෙත මුනිදාස රැගෙන ගියේ ය. නැති-බැරිකමේ අසීරුව හොඳහැටි අත් විඳ සිටි මුනිදාසට මහප්පාගේ නිවස සුරවිමනක් සේ පෙනිණ.

කොටහේන ද්විභාෂා පාඨශාලාවේදී මුණගැසුණු පියතිලක ඇදුරුතුමා මුනිදාසගේ අනාගත ගමන් මඟෙහි පහන් කණුව බවට පත්විය. ගමේ පාසලේ දී වීරසේන ඉස්කෝල මහත්තයා විසින් පාදා දෙනු ලැබූ මාවතේ තවත් බොහෝ දුර යාමට මුනිදාසට පියතිලක සර්ගෙන් ලැබුණේ සවිමත් අත්වැලකි.

ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වූ මුනිදාස ඉංග්‍රිසි භාෂාව පුළුල් ව හැදෑරීමට පෙම්බ්‍රොත් විදුහලට පිවිසුණේ ය. තෙවසරක ඉගෙනුම නිමා කළේ අලවතුගොඩ රජයේ පාසලකට ඉංග්‍රිසි ගුරු පත්වීමක් දිනාගනිමිනි. ඒ 1946 වසරේ දී ය. රජයේ ගුරු වෘත්තිය ඔහුට වැඩි කල් යා දුන්නේ නැත. නවසිය හතළිස් අටේදී ඔහු පෞද්ගලික අංශයේ රස්සාවක් සොයා ගත්තේ ය. ඒ ද ඇදුරුකමෙකි. කොළඹ මරදානේ ස්ටැෆඩ් විදුහලේ ය. 1985 වන තුරු ම ඔහු එහි සේවය කළේ ය.

අප මුලින් සඳහන් කළ ජී.ආර්.වික්‍රමසිංහ ඇතුළු විද්වතුන් රැසකගේ ඇසුරට මුනිදාස පත්වනුයේ මේ සමයේ ය. මිතුරන් අතර ඔහුගේ කෙටි නම ‘මුනි’ විය. වැඩි කල් නොගොස් ශිෂ්‍ය සමාජයෙහි ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ ‘මුනිදාස සර්’ නමිනි.

1956 අප රටෙහි ඇතිවූ සමාජ පෙරළිය මුනිදාසයන්ට ද බලපෑවේය. ලියලමින් තිබූ සංස්කෘතික ප්‍රබෝධය තවත් ඔපවත් කිරීමට තමන් ද හැකි පමණින් දායක විය යුතු යැයි ඔහුට සිතිණ. අයිරිස් ජාතික ගෝල්ඩ්ස්මිත් ගේ ‘ද ටිකාර් ඔෆ් වේක්ෆීල්ඩ්’ කෘතිය සිංහලට නැඟීමට ඔහු පෙළඹිණ.

ගෝල්ඩ්ස්මිත් කවියාගේ එක ම නවකතාව වුව ද ඉන් සාර්ථක ඵල නෙළා ගැනීමට මුනිදාසට නොහැකි විය. ලෝක පූජිත මහා ලේඛක ටොල්ස්ටෝයිගේ ‘ඇනා කැරනිනා’ නවකතාවට මුනිදාසයන්ගේ හිත යන්නේ ඉනික්බිතිවය. ඒ උත්සාහය හිතුවාටත් වඩා සඵල වන්නේය. සිංහලට නැඟුණු ටොල්ස්ටෝයිගේ ප්‍රථම කෘතිය ද එයයි.

මුනිදාස සෙනරත් යාපා නම් විශිෂ්ට ග්‍රන්ථ පරිවර්තකයාගේ ආගමනය සිදුවන්නේ ඒ අයුරිනි. එතැන් සිට පාඨක විචාරක ප්‍රසාදය දිනාගනිමින් ලෝක සාහිත්‍යයේ අගනා මිණිකැට රැසක ආලෝකය දේශීය පාඨක ප්‍රජාව වෙත රැගෙන ඒමට ඔහු සමත් වන්නේය. ‘අපරාධය හා දඬුවම’, ‘අපරාජිත බිස්මාකය හා රෝම ලලනායනය’ ඒවා අතරින් කිහිපයකි.

මුනිදාසයන් හුදු ග්‍රන්ථ පරිවර්තකයෙක් පමණක් නොවේ. ලොව සියලු ම භාෂාවන්ට ගරු කරන අතර තම මව් බසට අසීමිත ලෙස පෙම්බැඳි භාෂා ප්‍රේමයෙක් ද වේ. කවුරුන් හෝ විසින් කොතැනකදී හෝ භාෂාව කෙළසනු ලැබුවේද මුනිදාසයෝ ඒ පුද්ගලයාගේ තරාතිරම නොබලා දැඩි ප්‍රහාර එල්ල කළහ. ඔවුන් හා වාද විවාදවලට අවතීර්ණ වූහ.

මහාචාර්ය සුචරිත ගම්ලත්, සිරි තිලකසිරි, කරුණාරත්න අමරසිංහ, ඩී.එෆ්.කාරියකරවන, මහාචාර්ය ජේ.බී.දිසානායක බඳු විද්වතුන් සමඟ දිනමිණ, සිළුමිණ හා ලංකාදීප ආදී පුවත්පත් ඔස්සේ ඔහු විවිධ වාද විවාදවලට පැටලුණේය. ‘ලියන්න – ඊට පෙර බස නිවැරැදි ව ඉගෙන ගන්න’ මුනිදාසයන්ගේ පන්හිඳෙන් එකල නිතර ලියැවුණු ආදර්ශ පාඨයක් විය. වාද විවාදවලදී සිය ප්‍රතිමල්ලවයන්ට මුනිදාසයන් විසින් එල්ල කළ ප්‍රහාර කෙතරම් කර්කෂ වුව ද නිර්භීත ව පෑන හසුරුවමින් ඉහළ මට්ටමේ භාෂා සංගායනාවක් ගොඩනැංවීමට ඔහුගේ කස පහරවල් මහත් සේ දායක විය.

භාෂා පොරපිටියේ කෙතරම් ගුස්ති ඇල්ලුව ද මේ භාෂා ප්‍රේමීන් අතර සොඳුරු මිත්‍ර සමාගමක් ගොඩනැඟී තිබුණි. පර බසෙහි කෙළ පත් වූවකු වුවද මුනිදාසයෝ සිංහල ගැමිකමට මහත් සේ ඇලුම් කළෝ ය. ඔහු සිය මිත්‍ර සමාගම ඉංගිරියට කැඳවා ගත්තේ ය. මහැදුරු සුචරිත, කරුණාරත්න අමරසිංහ, ඩී.එෆ්.කාරියකරවන, සිරි තිලකසිරි ප්‍රමුඛ මිතුරෝ විටින් විට ඉංගිරි චාරිකාවේ නිරත වූවෝ ය. තරුණ ලේඛකයන් වූ නන්දන වීරසිංහ හා සුජීව දිසානායක ද ඇතැම් විට මේ කණ්ඩායමේ සාමාජිකයෝ වූහ. චාරිකා සත්කාරකත්වය ග්‍රන්ථ ප්‍රකාශක සිරිසුමන ගොඩගේ වෙතින් සිදුකෙරිණි. මිතුරන්ට පිරිනැමුණේ ගමේ කැවිලි පෙවිලිවලින් පිරි සංග්‍රහයකි. මඤ්ඤොක්කා හා නැවුම් කිතුල් රා ද වැරදුණේ නැත. සංග්‍රහශීලී මිතුරු සෙවෙනේ භාෂාව හා සාහිත්‍ය කලාවන් අරබයා උණුසුම් සංවාද ද පැනනැඟිණ.

ඉඩක් ලද හැම විටම මිතුරන් බැහැදැකීම මුනිදාසයන්ගේ ද සිරිතකි. හිස් අතින් ගෙදරකට ගොඩවැදීම නරක පුරුද්දක් සේ ඔහු සැලකීය. පලතුරු – රසකැවිලි ආදියෙන් පිරි මල්ලක් ද රැගෙන ඔහු මිතුරන් සොයා ගියේ සිනහබර මුවිනි.

බස නසනවුන් හමුවේ ගලක් මෙන් දැඩි වුවද සැබැවින් ම ඔහු සතු වූයේ මලක් සේ මුදු හදවතකි. මිතුරන් දකින්නට එන හැම විටක ම පාහේ කොළඹ දැක නැති කොල්ලන් කිහිපදෙනකු රියෙහි නංවාගෙන ඒමට ඔහු පුරුදු ව සිටියේ ය. ඔහුගේ රියට ස්ථිර රියැදුරෙක් ද නොවීය. රියැදුරු බලපත්‍රයක් හිමි ගමේ ඕනෑ ම කෙනෙකුට එහි සුක්කානම කරකැවීමේ අවසරය තිබිණ.

රැකියාවෙන් විශ්‍රාම ගත් මුනිදාසයන් තම නිවස අසල ම ගොඩනැඟිල්ලක් තනවා ගමේ දරුවන්ගේ ඉංග්‍රිසි දැනීම පෝෂණය කිරීමට ඇපකැප විය. ඒ වන විට ඔහු කලිසම් – කෝට් පැත්තකට දමා සරම් – කමිස අඳින්නට පුරුදු ව සිටියේ ය. ඔහුගේ ලියන මේසය තිබුණේ නිවසේ සාලයේ ය. දැකුම්කළු වෙල් එළියක් නිවස ඉදිරිපිටින් දිස්විණි. බුලත්විට හපමින් හා සුරුට්ටු උරමින් ඔහු ලේඛන කාර්යයේ නිරත වූයේ සුන්දර වටපිටාවේ ද රසවිඳිමිනි.

ජීව භාෂාවන් එදිනෙදා පැනනැඟෙන අවශ්‍යතා අනුව වෙනස් විය යුතු බවත්, වැරදි විදිහට භාෂාව භාවිතා කිරීම දිය පහරකට වස දැමීමක් බඳු අපරාධයක් බවත් තමාගෙන් සාකච්ඡා ලබාගැනීමට පැමිණි මාධ්‍යවේදීන් හමුවේ ඔහු ප්‍රකාශ කළේය. මුනිදාසයන් වඩාත් අගය කළ දේශීය ලේඛකයා වූයේ ඩබ්ලිව්.ඒ.සිල්වා සූරීන් ය. තමා සිල්වා සූරීන් අගය කිරීමට හේතුව ඔහු වික්‍රමසිංහයන්ටත් වඩා හොඳින් නිවැරැදි භාෂාව පරිහරණය කිරීම බවද මුනිදාසයෝ සෘජු ව පැවසූහ.

අසූ ගණන්වල මුනිදාස ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු වූ ඇල්ෆුඩ් පෙරේරා සමඟ දිනමිණ පත්තරය ඔස්සේ වාදයකට පැටලුණේ ය. වාදයට මුල් වූයේ එකල ගුවන්විදුලියේ තිබූ ’ප්‍රධාන සිංහල ප්‍රවෘත්ති සංස්කාරක’ නම් තනතුර පිළිබඳව ය. එසේ නම් ’අප්‍රධාන සිංහල ප්‍රවෘත්ති සංස්කාරකවරයකු’ ද පත්කළ යුතු බව මුනිදාස පෙන්වා දුන් කළ ඇල්ෆ‍්‍රඩ් පෙරේරා නිහඬ විය.

ඒඵඵඪඵබචදබ ට්ධමඥපදථඥදබ ඒඨඥදබ නමැති පදවිය ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ’සහකාර ආණ්ඩුවේ ඒජන්ත’ ලෙස සිංහලකරණය කරනු ලැබීම තරයේ විවේචනය කළ අප විද්වතා ඉන් ගම්‍ය වන්නේ ’සහකාර ආණ්ඩුව නමැති ආයතනයක ඒජන්ත’ යන අරුත නොවේදැයි නොබිය ව ප්‍රශ්න කළේ ය. මෙසේ විටින් විට ඉංග්‍රිසිත් – සිංහලත් හරිහැටි නොදන්නා පුද්ගලයන් විසින් හඳුන්වා දෙනු ලැබූ ’ගර්හිත බස්, ආරක්ෂක රැකවල්කරු, පරිභව කරන ලද බැටළු දෙනුන්, ප්‍රසිද්ධ වැසිකිළිය, ප්‍රසිද්ධ නොතාරිස් ආදී වචන ඔහුගේ දැඩි උපහාසයට ලක්විය. මුනිදාස එබඳු වචන හැඳින්වූයේ ’හපුටු සිංහල’ ලෙසිනි.

සිය ජීවිතයම භාෂාවේ හා සාහිතයයේ උන්නතිය වෙනුවෙන් කැප කළ මුනිදාස සෙනරත් යාපා විද්වතාණන් අතින් සම්පාදනය වුණු කෘති සංඛ්‍යාව 28කි. ඔහුගේ දැවැන්තම ලේඛන කාර්යය ලෙස සැලකෙනුයේ 2004 වසරේදී පළ කළ සදර්ථවාහිනී’ නම් ඉංග්‍රිසි සිංහල ශබ්දකෝෂයයි. මුනිදාසයන් එහි මුල් පිටපත පිරිනැමුයේ එවකට අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ය. වසර තුනක් පමණ කාලයක් ඇතුළත මුද්‍රණ තුනක් නිකුත් කිරීමට සිදුවීමෙන් ම එහි ජනප්‍රියත්වය තේරුම් ගැනීමට පුළුවන.

සදර්ථවාහිනියේ සංශෝධිත නව මුද්‍රණයක් ද මෑතකදී ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් නිකුත් වී තිබේ. තිස්ස කාරියවසම්, ඩබ්.බී.දොරකුඹුර හා රත්නසිරි අරංගල යන මහැදුරන්ගේ උපදේශකත්වයෙන් පසක් වී ඇති මීට අලුතින් එක්ව ඇති මුල් වචන ප්‍රමාණය 6000ක් පමණ වේ. ශබ්දකෝෂ පිළිබඳ විශාරදයකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මෙය හඳුන්වන්නේ ඉංග්‍රිසි උගන්නා ආධුනිකයන්ට දැන් තිබෙන හොඳම ශබ්දකෝෂ අතරින් එකක් ලෙසිනි. ජීවන ගමනේ අටවන දශකය පසුකර සිටියදී මුනිදාසයන්ගේ එක් පාදයක දණහිසෙහි ආබාධයක් ඇතිවිය. ඊට ප්‍රතිකර්මය වූයේ කෘත්‍රිම දණහිසක් බද්ධ කිරීමයි. ශල්‍යකර්මය සඳහා වැයවන මුදල ලක්ෂ තුනහමාරකි. ‘ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින මා වෙනුවෙන් එපමණ මුදලක් වැය කිරීම නිෂ්ඵල’ යයි පැවසූ අප වියත් ලේඛකයා, වෛද්‍ය විශාරද අමරසිරි පොන්නම්පෙරුමගෙන් දේශීය වෙදකම් කිරීමට තීරණය කළේ ය.

ඔහු සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනා පොත්පත් ජනසන්තක කිරීමට ගත් තීරණය ද සියලු දේ අත්හැරීමට මුනිදාස සෙනරත් යාපාණන් තුළ පැවැති අල්පේච්ඡ ජීවන දෘෂ්ටිය ප්‍රකට කිරීමකි. ලේලියක වන කේ.වී.මානෙල් හා ඇගේ ස්වාමියා වන ආර්.ඩී.චන්ද්‍රදාස යුවළ අවසාන භාගයේ මුනිදාස සෙනරත් යාපා සූරීන් රැකබලා ගත්හ.

සිය භාෂාඥානයෙන්, සරසවි මහැදුරන්, පරිපාලන නිලධාරීන්, ඇතුළු විවිධ වෘත්තිකයන් සිය දහස් ගණන් දැයට බිහි කළ මේ මහා ලේඛකයා 2005 වසරේ සීතල උඳුවප් මස එක්තරා දවසක නිහඬ ව ම දැයෙන් සමුගත්තේ ය. සහෘද මිතුරාගේ නික්ම යාම ඩී.එෆ්.කාරියකරවන වියතාණන්ගේ පන්හිඳෙන් සටහන් වූයේ මෙලෙසිනි.

’බහුශ්‍රැත ප¼ඩිවර ඉංගිරියේ මුනිදාස සෙනරත් යාපා සූරීන් බැස ගියේ කැලෑ හඳක් මෙනි. සමාජයේ ඔහුට ලැබිය යුතුව තිබූ තැන ලැබුණේ නැත. කිසිදිනෙක කිසි විටෙක කිසිවකුට ඔහු දෙවැනි වූයේ නැත. ගිය ගිය තැන මුදුනෙහි වූයේ ය.’

කමල් පෙරේරා

දොස් – නිදොස් විශ්ලේෂණය

•January 24, 2011 • Leave a Comment

වින්‍යාස වැරැදි

පහත දැක්වෙන්නේ පසුගිය සතියේ දවසක පැය දෙක තුනක් ඇතුළත යකාගෙ මැජික් පෙට්ටියේ දකින්නට ලැබුණු වැරැදි වචන ගණනාවෙකි. ඒ මෙසේයි:

“තුල – පාටමාලා – සුදුළූනු – මිල අඩු කලා – අළුත් – ඉහල – ගැලපෙන – කැළණිය – අධ්‍යක්ෂක – ඇඟළුම් – සමග – තරඟ – දර්ශණය – දේපල – දැහැණින් – ලඟට – බන්දන – පිලිබඳව“

මේවා නිවැරැදි විය යුත්තේ මෙසේ ය.

“තුළ – පාඨමාලා – සුදු ලූනු – මිල අඩු කළා – අලුත් – ඉහළ – ගැළපෙන – කැලණිය – අධ්‍යක්ෂ – ඇඟලුම් – සමඟ – තරග – දර්ශනය – දේපළ – දැහැනින් – ළඟට – බන්ධන – පිළිබඳව.”

ඉහත සඳහන් වචන මාලාවේ අරුත් ඇතැමකුට අමතක වී ඇත්නම් ඒ අය සඳහා ය. පහත දැක්වෙන සටහන

1. තුළ නම් ඇතුළත ය.

2. පාඨමාලා නම් පාඩම් මාලා ය.

3. සුදු ලූනු ඉංගිරිසියෙන් garlic ය.

4. මිල අඩු කළා කියන්නේ යමක් විකුණන ගණන අඩු කිරීම ය. මිල යන්නෙහි දෙවැනි අකුර දන්තජය. ‘අඩු කලා’ යන වචනය නිවැරැදි විය යුත්තේ ‘අඩු කළා’ යනුවෙනි.

5. අළුත් යනු අළු ද යන්න ය. අළු ඇත්තේ ළිපේ ය. නව යන අරුත දෙන්නේ ‘අලුත්’ යනුවෙනි.

6. ඉහල යන වචනය වැරැදි ය. නිවැරැදි වන්නේ ‘ල’ කාරය වෙනුවට ‘ළ’ කාරය යෙදුණු කල්හි ය.

7. ගැලපෙන යන්නෙහි ‘ල’ කාරය වැරැදි යි. එතැනට යෙදිය යුත්තේ ‘ළ’ කාරයයි (සුබැසියන් වහරන්නේ ‘ගැළැපෙන’ යනුවෙනි. එය වඩාත් සුදුසු සේ පෙනේ.

8. කැලණිය යන්නට බොහෝ දෙනකු ලියන්නේ ‘කැළණිය’ කියා ය. ඔවුන් ඇතැමකු සිතන්නේ මූර්ධජ ‘ණි’ යන්නට කලින් එන ‘ළ’ කාරය මූර්ධජ විය යුතු ය කියා ය. මෙතැන එහෙම එකක් නැත. කැලණි යන්න හැදෙන්නේ කල්‍යාණ යන සකු ශබ්දයෙනි. එය තත්සම වචනයකි. මේ කල්‍යාණ යන තත්සම වචනයෙන් එන නිසා ය කැලණි වන්නේ.

9. අධ්‍යක්ෂ යනු කාර්යාංශයක් බාර තැනැත්තා ය. ඉංගිරිසියෙන් නම් ච්ඪපඥජබධප ය. වැරදීමෙකින් හෝ කලෙක සිට ‘අධ්‍යක්ෂක’ යන වචනය බොහෝ දෙනකු විසින් වහරන ලද බවක් පෙනේ. එහෙත් දැන් අධ්‍යක්ෂට ‘ක’ යන්න නැත.

10. ‘ඇඟැලුම්’ යන්න ‘ඇඟලුම්’ යනුවෙන් ද ලියනු ලැබේ. මූර්ධජ සහිතව ලියන ‘ඇඟළුම්’ යන්න නම් වැරැදි ය. ඇඟෙහි ලන්නේ ඇඟැලුම් ය. ඒ කියන්නේ වස්ත්‍රාභරණ ය.

11. එක්ව, කැටුව යන අදහස දෙන වචනය සමඟ යන්නයි. සමග යනු වැරැදි වහරෙකි.

12. දැක්ම යන අදහස දෙන වචනය දර්ශන නම් වේ. දර්ශණ යනුවෙන් ලියනු වැරැදියි.

13. දේපළ යනුවෙන් හැඳීන් වෙන්නේ යමකුගේ ඉඩකඩම් ගේ දොර යාන වාහන කාසි පණම් යන ආදී වස්තුවයි. දේපල යන වචනය වැරැදි යි. අග අකුර මූර්ධජ ම විය යුතු ය.

14. ළඟට යනු සමීපයට ය. ලඟට යන්න වැරැදි යි.

15. බන්ධන යනු බැඳුම් ය. බන්දන නොවේ.

16. පිළිබඳ යනු ප්‍රතිබද්ධයයි. දැඩි ලෙස බැඳුණු.

පුංචි තිරයෙන් ප්‍රදර්ශනය කැරෙන වැරැදි වදන් දකින සිසු පරපුර ඉගෙන ගන්නේ කෙසේද? කෙනකුට සුළුවට පෙනුණත් ඇත්ත වශයෙන් ම මෙය දැවෙන ප්‍රශ්නයකි.

පුවත්පතකින් දෙකකින් මෙහෙම පෙන්නා දුන්නාට පුංචි තිර කාරයන් මේවා ගණන් ගන්නා බවක් නොපෙනේ. ප්‍රේක්ෂකයා දැඩි පියවරක් ගත යුතු ය. එසේ කරන්නට පෙර අපි තව එකක් කැර බලමු.

මේ වැරැදි මෙසේ දකින විට අපි තැපැල්පත් රැගෙන (නිති විරෝධී නොවන අන්දමින්) තදින් ලියා ඒ ඒ විද්යුත් මාධ්‍ය ආයතනයට යවමු. මෙසේ විරෝධය පළ කරන තැපැල් පත් සිවු දිගින් ගලා එන විටවත් ඔවුන් ගේ ඇස් ඇරේවි දැයි බලමු.

තරගය

“එජාප නායකත්ව තරඟයට
රනිල් සජිත් දෙපිලම තරඟ බිමට”

මුල් පිටුවක් පුරා දිවෙන පේළි දෙකක මහා සිරසෙකි. තරඟයට තරඟ වදිතියි කීම සුදුසු නොවේ. අනෙක තරඟයට හා තරඟ යන වචන දෙකේ නිරුක්තියයි. ‘තරඟ’ යන්න අද ව්‍යවහාරයට ඇවිත් තුබුණ ද නියම වචනය නම් ‘තරග‘ යන්නයි. තරග යන්න ඡේකයන් විසින් අර්ථකථනය කැරෙන්නේ මෙසේ ය. “අනුන් අබිභවා යම් දෙයක් ලබා ගැනීමට කරන උත්සාහය – අනුන් පරදවා තමන් දිනීමේ අදහසින් ක්‍රියා කිරීම” මේ අනුව බලන කල තරගයට තරඟ යැයි කීම වැරැදියි.

ඉහත සඳහන් මහ පුවතේ “සාමාජිකයකු පවසයි” යනුවෙන් ද වෙයි. ‘අකු’ ප්‍රත්‍යය සහිත අනුක්ත පදයක් (සාමාජිකයකු) ආඛ්‍යාතයෙන් උක්ත කිරීම ලොකු වරදෙකි.

දඬුවම්

පුංචි තිරයෙහි නිතර නිතර අකුරු පේළි දෙකක් වැටේ. උඩ පේළියේ අකුරු කුඩා ය. පැහැදිලි නැත. පහළ පේළියේ අකුරු ලොකු ය. පැහැදිලි ය. “දඬුවම් ලැබිය හැකි වරදකි” යන්න එහි සඳහන් වේ. මේ දඬුවම් ලැබිය හැකි වරද කිමෙක් ද?

නිවැරැදිව ලියන්නට

සැකවදන් නිසැකයෙන්

ලියන්නට වන් විට බොහෝ දෙනකුට මුහුණපාන්නට වන ප්‍රශ්නයක් නම් යම් යම් වචනවල අක්ෂර වින්‍යාසය හා නියම අර්ථ යයි.

අද සිට මෙහි කොටස් වශයෙන් පළ වන්නේ සිසු පරපුරටත් පොදු ජනතාවටත් එසේ මුහුණපාන්නට වන වචන සමූහයක නිවැරැදි වහරයි. ඇවැසි තන්හි අරුත ද දැක්වේ.

අංගණ – මිදුල

අංගම් – මන්තර මතුරා කරන හදියක්

අංග ලක්ෂණ – සිරුරේ පිහිටි ලකුණු

අංග විකල – විරූපී අංග

අංගාර – අඟුරු (2) කුජ ග්‍රහයා

අංගාරිකාම්ල – එනම් වායුව

අංගීරස – බබළන සිරුරක් ඇති (2) ගුරු ග්‍රහයා

අංගුටු මිට්ටා – ඉතා මිටි (මිනිසා)

අංකුට්ටා – ඉතා මිටි (මිනිසා)

අංගුත්තර නිකාය – නිකාය පහෙන් එකක්

අංගුල – ඇඟිල්ල (2) මිම්මක්

අංගුලිමාල – ඇඟිලිමාලය

අංගෝපාංග – අංග හා උපාංග

අංචි – උගුල (2) කරදර

අංජන – ඇස්වල කළුපාට ගෑමට ගන්නා ආලේපයක්

අංජන් – පේන කීමට ගන්නා අඳුන

අංජනම්එළි – පේන කියන ආලෝකය

අංජිලාවා – තෝර පැටියා

අංතට්ටු – අං දෙක

අංපිටිය – අංකෙළිබිම (2) නගරයක්

අංශ – කොටස, පැත්ත

අංශකය – වෘත්තයකින් 360 න් පංගුව

අංශභාගය – සිරුරේ අංශයක් පණ නැති

වීම, පක්ෂාඝාතය

අංශුව – ඉතා කුඩා කොටස (2) ආලෝක

ධාරාව

අංශුමාත්‍ර – ඉතා ඩිංග, ලේශ මාත්‍රය

අකම්පල – කම්පිත

අකරදාරු – විවාහ නොවී එකට විසීම

අකර්මණ්‍ය – වැඩකට ගත නොහැකි

අකලංක – කැළැල් නැති

අකල්ක – අවංක

අකල්කිරියා – නරක හැසිරීම

අකල්ප – සමාන කරනු බැරි

අකල් පොලී – ගනුදෙනුවක් බේරීමේදී අඩු

කරන මුදල

අකාරණ – කරුණක් නොවන

අකාර්යක්ෂම – අදක්ෂ

අකුල් හෙලීම – බාධා කිරිම

අකුශල් – පාපක්‍රියා

අකුළනවා – වනනවා, ඔතනවා

අක්කබක්කවෙනවා – සියල්ල නැතිවෙනවා

අක්ත පත්‍ර – නිල බලපත

අක්ෂය – නොගෙවෙන (2) උතුරේ සිට

දකුණට වැටුණු රේඛාව

අක්ෂර – අකුරු (2) නිවන

අක්ෂි – ඇස්

අක්සන – පිටු අංකය

ඩී. එෆ්. කාරියකරවන

සමාජය රාජ්‍යය සහ ආගම

•January 24, 2011 • Leave a Comment

කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ව සිට දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි මහාචාර්ය අමරදාස ලියනගමගේ මහඇදුරුතුමන් විසින් මීට වර්ෂ කිහිපයකට පෙර (90 දශකයේ) ඉංගී‍්‍රසි භාෂාවෙන් ලියා පළ කරන ලද Society state and Religion in pre modern Sri Lanka නමැති කෘතිය සිංහල පාඨකයා අතට පත්කිරීමට ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම නම් කෘතිය හඳුන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ බිහිවූ විශිෂ්ට ගණයේ ඉතිහාසඥයකු වූ මහාචාර්ය ලියනගමගේ මහතා ඉතිහාස විද්‍යාර්ථීන් අතර වඩාත් ප්‍රකට වූයේ පොළොන්නරු රාජධානියේ පරිහානිය සහ දඹදෙණි රාජධානියේ නැඟීම නමැති දිවයිනේ සංක්‍රාන්ති සමයක් වශයෙන් සැලකෙන 12 සහ 13 වන සියවස් සම්බන්ධ ඉතිහාසය පරීක්ෂා කරමින් සම්පාදනය කළ ශාස්ත්‍රීය පර්යේෂණ කෘතිය පළ කිරීම නිසයි. පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම නම් අපගේ අවධානයට ලක්වූ කෘතිය ඉන් පසුව එතුමන් විසින් වරින්වර සිදුකළ පර්යේෂණ කිහිපයක් එක්තැන් කිරීමකි.

ලියනගමගේ මහඇදුරුතුමන් වරින්වර ලියා පළ කරන ලද පර්යේෂණ ලිපි නමයක් (9) මෙහි ඇතුළත් වෙයි. සමස්ත ග්‍රන්ථයේ අන්තර්ගතය හා මෙහි ග්‍රන්ථ නාමය වන පූර්ව නූතන ශ්‍රී ලංකාව සමාජය රාජ්‍යය සහ ආගම යන්න සලකා බලන විට ඒ ඒ මාතෘකාවලින් පිළිබිඹු වන ප්‍රස්තුතය ග්‍රන්ථ නාමයට මනාව ගැළපෙන ආකාරයෙන් යොදා ඇත. මෙහි අන්තර්ගත පරිච්ඡේද ගණන නමයකි.

පළමු පරිච්ඡේදය වෙන්කර ඇත්තේ සමස්ත විෂය පථයටම අනුරූප වන දිවයිනේ භූගෝලීය පරිසරය පිළිබඳව පාඨකයාට අවශ්‍ය මූලික දැනුම් සම්භාරය අත්කර දීම සඳහාය. මේ ග්‍රන්ථයේ එන හැඳින්වීමේ කොටස ඉතා වැදගත් වේ.

එය ආධුනික ඉතිහාසඥයන්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද එකසේ වැදගත් වනු ඇත. මක්නිසාද යත් අප ඇදුරුතුමන් විසින් ඉන් අපට පහදා දෙන්නට උත්සාහ දරන දැනුම් සම්භාරය නූතන විද්‍යාර්ථීන්ට ඉතා අත්‍යවශ්‍ය ශික්ෂණයක් වන නිසාය. මෙම හැඳින්වීමේ පරිච්ඡේදයේ දෙවන කොටසින් කතුවරයා ඉතිහාස යන පදය ක්‍රමයෙන් විකාශනය වූ ආකාරය විග්‍රහ කරන්නේ ඉතාමත් ක්‍රමික ආකාරයකටයි. මෙම කොටස ඉතිහාස රචනයෙහි යෙදෙන ආධුනිකයන්ට කෙටි වුවද වටිනා පාඩමකි.

මේ කෘතියේ දෙවන තුන්වන හා සිව්වන පරිච්ඡේදවලින් උත්සාහ කර ඇත්තේ සමස්තයක් ලෙස ඉන්දු ලංකා සම්බන්ධතාවල ඓතිහාසික පසුබිම විවරණය කිරීමට වන අතර ඒ තුළින් සිංහල සහ දෙමළ ජනයා අතර යටපත් වූ අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර ඇත. ඉන් දෙවන පරිච්ඡේදය යොදාගෙන ඇත්තේ මෙරට පාලි සාහිත්‍යයේ වටිනා කෘතියක් වන උපාසකජනාලංකාරය නම් කෘතිය ආශ්‍රයෙන් ඓතිහාසික විවරණයක යෙදීමටයි.

මේ පරිච්ඡේදයෙන් ඒ කෘතියේ කර්තෘ, කාලය පිළිබඳ ව මෙන් එහි අන්තර්ගත සැඟවුණු දේශපාලන හා ආර්ථික තොරතුරු ද මනාව විවරණය කර ඇත. ලංකාව හා දකුණු ඉන්දියාව අතර ක්‍රියාත්මක වූ සමාජ, සංස්කෘතික හා වාණිජ සම්බන්ධතා පිළිබඳ නව අදහස් මතු කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත. ලංකාව හා දකුණු ඉන්දියාව අතර දේශපාලන වාදභේද පැන නැගුණ ද ඒවා වාණිජ හා ආගමික සම්බන්ධතාවලට බාධාවක් නොවූ අයුරු මෙම විවරණයෙන් පැහැදිලි වෙයි.

මේ කෘතියේ තුන්වන ලිපිය වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ අප මහාචාර්ය තුමා මීට කලකට පෙර කරන ලද තවත් පර්යේෂණයකි. දකුණු ඉන්දියාවේ බටහිර දිග මුහුදු වෙරළට යාබඳ ව පිහිටි කේරළ ප්‍රදේශය හා ලංකාව අතර පැවති සම්බන්ධතා දෙකක් පිළිබඳ ව මේ ලිපියෙන් අනාවරණය කර ඇත. එහෙත් ලංකාව හා කේරළය අතර දේශපාලන ගැටුම් ඇති වූ බව මෙරට ඓතිහාසික ලේඛනවලින් හෙළි නොවෙයි.

දහතුන්වන හා දහහතර වැනි සියවස්වල ඇති වූ මේ අර්බුදයට කේරළයේ දේශපාලන අධිකාරියේ සෘජු දායකත්වයක් නොවූ බව මෙහි පෙන්වා දී ඇත. මෙම ලිපියෙන් ලියනගමගේ සූරීන් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ චොල පාණ්ඩ්‍ය මෙන් නොව කේරළ රාජ්‍යය ලංකාව හා සම්බන්ධතා පවත්වා ඇත්තේ කුලී හේවායන් වශයෙනි. එහෙත් එසේ නොවන ආකාරයේ සම්බන්ධතාවක් පිළිබඳ තොරතුරු මෙම ලිපියේ ඉදිරිපත් කර ඇත.

මේ කෘතියේ හතරවන ලිපිය පැරණි හා මධ්‍යකාලීන ඉන්දු ලංකා සම්බන්ධතා පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකි. ලංකාවට ආසන්නයේ පිහිටි මේ මහා භූගෝලීය ඒකකයේ බලපෑම ඈත අතීතයේ සිට විවිධාකාර ලෙස එල්ල විය. එසේ එල්ල වූ බලපෑම් පිළිබඳව විමසා බැලීම මෙහි අරමුණ වී ඇත. දේශපාලන සම්බන්ධතා මෙන්ම වාණිජ හා සංස්කෘතික සම්බන්ධතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත.

එහිදී උතුරු ඉන්දියානු රාජ්‍යවලට වඩා දකුණු ඉන්දියානු රාජ්‍ය මේ දිවයින කෙරෙහි අවධානය යොමු කළ ආකාරය පිළිබඳ ව කතුවරයා විශේෂ අවධානයක් යොමු කරයි. ඒ අනුව මෙරට රජවරුන්ගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අවධානය යොමු කරන්නෙකුට වැදගත් තොරතුරු රැසක් මෙම ලිපියේ අඩංගු වන බව පෙනී යයි.

මේ කෘතියේ පහ සහ හය පරිච්ඡේද දෙක වෙන්ව ඇත්තේ මෙරට සමාජ ඉතිහාසයේ තවත් පැතිකඩක් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. ක්‍රි. පූර්ව තුන්වන සියවසේ බුදුසමය මෙරට ස්ථාපිත වීමත් සමඟ මෙරට ඇතිවූ සංඝ සමාජය හා රාජ්‍ය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව මෙන්ම මේ දෙපාර්ශවය අන්‍යොන්‍ය වශයෙන් දෙපාර්ශවයට ප්‍රයෝජනවත් වූ අයුරුත් දැකිය හැකි විය. මේ සම්බන්ධතාව හැම කල්හි ම එක ම ආකාරයකට නොවූ අතර එය වරින් වර විවිධාකාර ස්වරූපයන් ගනු දැකිය හැකි විය.

දුට්ඨගාමිණි, මහසෙන්, වලගම්බා ආදි අවධිවලට ඇති වූ තත්ත්වයන් පිළිබඳ ව මෙහි දීර්ඝ ලෙස විවරණය කර ඇත. මහා විහාර අභයගිරි අර්බුදය ඇතිවීමට බලපෑ හේතු සාධක විමසන විට අපේ පැරණි ඓතිහාසික මූලාශ්‍රවල එන විවරණයන් ඉතා ප්‍රවේශමෙන් පරිශීලනය කළ යුතුය. මහාවංශය, දීපවංශය, නිකාය සංග්‍රහය, වංසත්ථප්පකාසිනිය හා පූජාවලිය වැනි ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍ර උපයෝගී කරගනිමින් මහා විහාරය හා වෛතුල්‍යවාදීන් අතර පැවති අරගලය පිළිබඳ දීර්ඝ විවරණයක් සපයා ඇත.

පැරණි හා පූර්ව මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සංඝ සමාජය කෙරෙහි කුල භේදයේ බලපෑම නම් ලිපිය කතුවරයා විසින් 1960 දශකයේ සංස්කෘති සඟරාවට ලියූ ලිපියක් තවදුරටත් විමර්ශනාත්මක ව ලියන ලද රචනයකි. මෙම ලිපියෙන් බුදුසමය මෙන්ම ඉන්දියානු ප්‍රභවයක් ඇති ප්‍රකට සමාජ සංස්ථාවක් වන කුල භේදය ශ්‍රී ලාංකික සමාජයට මෙන්ම එහි වැදගත් අංශයක් වූ සංඝ සමාජයට සිදු කළ බලපෑම විවරණය කරයි. බුදුසසුනේ දක්නට ලැබෙන පරමාදර්ශි ස්වරූපය පිළිබඳ ව ද එය ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සමාජයට ඇතුළු වූ අයුරු ද පරීක්ෂා කර ඇත.

ඉන්දියානු සමාජය තුළ දක්නට වූ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය හා ශුද්‍ර යන ජන කොටස් මෙරට සමාජය තුළ කෙසේ පැවතියේ ද යන්න පිළිබඳ ව ඓතිහාසික සාක්ෂි පදනම් කර ගනිමින් සොයා බලා ඇත. පුද්ගලයකු පැවිදි දිවියට ඇතුළත් කරන විට සොයා බැලිය යුතු කරුණු පිළිබඳව විනය පිටකයේ එන විස්තර මෙහි විවරණය කර ඇත. එහෙත් ඒ අතර මතභේදයට තුඩු දෙන ජාති ගෝත්‍ර විමසීම පිළිබඳ ව මෙහි දී විශේෂ අවධානයක් යොමු කර ඇත. මේ නිසා මෙම ලිපිය පූර්ව යටත් විජිත යුගයේ ශ්‍රී ලාංකික සමාජයේ සමාජ සංස්ථා පිළිබඳව මෙන්ම සඟ සසුනේ සිදු වූ පරිණාමය පිළිබඳ ව ද හොඳ විවරණයකි.

මෙම කෘතියේ හත්වන පරිච්ඡේදය වශයෙන් ඇතුළත් ව ඇත්තේ මෙරට දැනට සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණ ඉතිහාස මහාචාර්යවරයකු වන ලෙස්ලි රණවීර ගුණවර්ධන මහාචාර්යතුමන් විසින් ලියා පළ කරන ලද සාරගර්භ පර්යේෂණ කෘතියක් වන සිවුර සහ නගුල නමැති කෘතිය පිළිබඳ ව අප මහාචාර්යතුමන් සැපයූ විවරණයකි.

මෙහි එන අට වන ලිපිය තරමක් වෙනස් ක්ෂේත්‍රයක් පිළිබඳ ව අවධානය යොමු කළ ලිපියකි. මෙතෙක් කිසිවකුගේ අවධානයට ලක් නොවූ ඓතිහාසික කරුණක් එහි විවරණය වෙයි. බලහත්කාරයෙන් ආගම වෙනස් කිරීම පිළිබඳ අදහස් නූතන ලෝකයේ වරින්වර අසන්නට ලැබෙන සංසිද්ධියකි. පැරණි ශ්‍රී ලාංකික සමාජය බොහෝදුරට ආගමික සහනශීලිත්වයක් සහිත සාමකාමී සහජීවන සමාජයකි.

එහෙත් මේ කෘතියේ විස්තර වන ආකාරයේ විරල අවස්ථා ද පැවති ඇති අයුරු දැකිය හැකිය. මාඝගේ ආක්‍රමණයේ පැවති දරුණුකම පිළිබඳව මනා අවබෝධයක් මේ ලිපිය කියවීමෙන් ලබා ගත හැකිය. එපමණක් නොව ඔවුන්ගේ නිර්දය ප්‍රහාරයට භික්ෂුන් වහන්සේලා සහ ප්‍රභු ජන කොටස් පමණක් නොව භික්ෂුන් වහන්සේලාගේ ඥාතින් පවා ලක් වූ ආකාරය ද මෙහි විස්තර කර ඇත. එසේ ම මාඝ මෙසේ භික්ෂුන් වහන්සේලා පීඩාවට ලක් කිරීමට හේතු සාධක කෙරෙහි ද අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි.

මෙහි අවසාන පරිච්ඡේදය එනම් නමවැනි පරිච්ඡේදය වෙනස් ම ආකාරයක ක්ෂේත්‍රයක් පිළිබඳ විවරණයකි. සීගිරිය බල කොටුවක් ද? සුබ නිකේතනයක් ද? යනුවෙන් සිදුකර ඇති ඓතිහාසික විවරණය ඉතා වැදගත් නිර්මාණයකි. මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත වන අතර ඉන් පළමු කොටසින් සීගිරියේ ඓතිහාසික පසුතලය විවරණය කර ඇත.

මෙසේ විවිධ පැතිකඩවල ඔස්සේ ශ්‍රී ලාංකික සමාජ ඉතිහාසය පිළිබඳ ව සිදු කර ඇති මෙම පර්යේෂණ ලිපි සංග්‍රහය තවදුරටත් සාර්ථක නිර්මාණ කාර්යක් වී ඇත්තේ එහි ශාස්ත්‍රීය කෘතියකට අවශ්‍ය ආශි‍්‍රත ග්‍රන්ථ සහ ලිපි ලේඛන නාමාවලිය හා සුචිය නිසාය. එසේ ම ආධුනික සාමාන්‍ය පාඨකයාට ප්‍රයෝජනවත් සිතියම් හා අනෙකුත් තොරතුරු ද මෙහි අන්තර්ගත කිරීමට අමතක කර නැත.

පැරණි ශ්‍රී ලාංකේය සමාජය තුළ පැවති විවිධ පැතිකඩ පිළිබඳ ව මහාචාර්ය අමරදාස ලියනගමගේ සූරින්ගේ දෘෂ්ටිය මේ කෘතිය පුරාම දැකිය හැකිය. එසේ අවධානයට ලක් වූ අංශ අතර ඉන්දු ලංකා සම්බන්ධතා, රාජ්‍ය හා ආගම අතර සම්බන්ධතාව, කුලභේදය හා සමාජ සංස්ථා හා ආගමික අසහනශීලිතාව යන අංශ විශේෂයෙන් අවධානය යොමු විය යුතු මාතෘකා වේ.

මහාචාර්ය අමරදාස ලියනගමගේ මහතාගේ මේ සාරගර්භ වටිනා ඓතිහාසික කෘතිය මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසය හදාරන විද්‍යාර්ථීන්ට ඉතිහාස රචනය පිළිබඳ අගය සපයන කෘතියක් වශයෙන් මෙන් ම සාමාන්‍ය ජනයාට ද එකසේ වැදගත් වන කෘතියක් බව පෙන්වා දෙමින් එතුමා තම කෘතියට ලියා ඇති හැඳින්වීම අවසන් කරන කොටස මෙහිලා උපුටනු කැමැත්තෙමි.

“අතීත කථාවේ ඓතිහාසික යථාර්ථය අපක්ෂපාත මනසකින් වටහා ගැනීමෙන් සකල ලංකාවාසීන්ටම ප්‍රඥා ලෝකයේ ආශිර්වාදය ලැබෙනු ඇත.

ජනවාර්ගික ගැටුම් පවත්නා අවධියක එය අනිවාර්ය කාලීන අවශ්‍යතාවක් බවට පත්වෙයි.”

යූ. ඒ. ලාල් පන්නිල

ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති

රුහුණ විශ්වවිද්‍යාලය

Novelist Kammellaweera as myth-seeker

•January 11, 2011 • Leave a Comment

Reviewed by Kalakeerthi Edwin Ariyadasa

Sinhala fiction, has entered into a period of relentless exploration. Birth-pangs of new modes of fictional expression, have been widely felt in the last ten-fifteen years.

Cumulatively, these emerging voices of Sinhala fiction, have showed in, what could be characterized as a post Gunadasa Amarasekera era of the Sinhala novel.

The predominant pre-occupation of the novelists of this movement, has been the committed effort, to cope fictionally with the stirring social and cultural changes of our day.

They differ significantly from the story – tellers of the previous days, due primarily to their persistent focus on technique. To them, “how” is as important as “what”.

In the vanguard of this coterie of new story – tellers, are Kathleen Jayawardene, Sumithra Rahubadda to name a handful.

With his current work of fiction, “Chunibana Kanda” (kissing Rock), Novelist Jayatilaka Kammellaweera, enters decidedly into this new movement of Sinhala story – tellers.

In the opening segment – of this novel, the reader will be pleasantly surprised to come upon some of the most efficiently crafted pieces of prose in current Sinhala fiction.

The preamble to the central story, is painstakingly detailed. His word-pictures are visually evocative.

The sense of peace, quietness and tranquillity that pervades the forested landscape associated with the “Kissing Rock”, is contrasted with the pains, privations and the incarceration of the rebel days.

The appeal of Jayatilaka Kammellaweera’s novel, depends partly on a deep-seated yearning most people (especially the city dwellers) nurse, for a quiet life in the wilderness, It is an escapist dream. The forest provides a cosy cocoon, away from the imperatives of time. Compelling routines do not dominate you there.

Novelist Kammellaweera deftly exploits this potent attraction of forest -life. To me, his central character. “Sinhaya”, is a kind of Sri Lankan incarnation of Deniel Defoe’s “Robinson Crusoe.” Carving out a life from the meagre resourceses, the wilderness could offer, is a perennial human adventure.

As the story progresses, the reader becomes increasingly aware of the emergence of a cult. The mysterious presence in the wilderness, takes on the guise of an esoteric spiritual figure.

The central – character, decides to convert a rock – cave into a sacred temple. He improvises a “god” and initiates the worship himself. Soon, the anonymous “deity” acquires a following of ardent adorers.
A myth is born.

One cannot be quite certain whether this is the author’s ironic comment on the mushrooming cults, that achieve vast devotee-followings and eventually die off in a whimper

The myth he creates, begins to overwhelm him. He is overcome by a troubling sense of possessiveness and is keen to keep the envious villagers, off his forest domain.

The carnal temptation of the rebel – turned – recluse, forms an episode, that brings about a significant transition in the narration.

His exotically disturbing encounter with the passion – drenched female, shakes the ‘recluse’ to the very depths of his being.

At the beginning, the “quest” of the central character “Sinhaya”, had the vague resemblance to a spiritual search.

The “temptation” and the subsequent “fall”, totally altered the course of his settled and tranquil life as a content forest dweller.

When he leaves his forest – haunt, and embarks upon a search for the temptress, the story tends to take on a new turn.

But when the search for the “women’, proves futile, he comes back to the all – powerful “kissing – Rock”, sternly determined to continue is reclusive way of life.

But, the world outside, intervenes. The intrusion of the outside world, appears in several forms. There is the mass – meditation leader who is keen to have one of his popular camps in the forest domain of the reclusive ‘lion’.

Then comes a politician, who brings in, the intrigues and the value systems of the popular politicians.

One cannot help but feel, that these demands, begin to affect, the keen focus of the narration, that compelled the reader in to tranced absorption, early in the novel.

The narration’s admirable potentiality to appeal, tends to relax. The elements of mystery, the sense of wholesome curiosity that held the readers unswerving attention,, seem to have waned in the seeme parts of the novel.

This is partly due to the sensational episodes, that are introduced to the story -line, in the wake of the arrival of the protagonist’s politician friend.

When everything is said and done, Novelist Jayatilaka Kammallaweera’s latest work of fiction, is a district enrichment of his literary genre.

I am especially impressed by the exceptional craftsmanship of his prose in this work.

He infuses fresh expression vigour to many words and usages he has culled from demotic parlance.

කතුන් තිදෙනෙක් එක් ව තැනූ ගඟ අද්දර

•January 4, 2011 • Leave a Comment

සුමිත්‍රා පීරිස්ගේ සිනමා භාවිතය හා සාහිත්‍ය අතර ඇත්තේ අවියෝජනීය – ගැඹුරු සබඳතාවකි. ඇය නිර්මාණය කරන ලද සිනමාපට කිහිපයකට ම පාදක කොට ගෙන තිබුණේ නවකතා හෝ කෙටිකතා ය. මේවායේ ආ විශිෂ්ට ලක්ෂණ ද, කැපී පෙනෙන අංග ද ප්‍රකාශයට පත් වූයේ ඒකාකාර අන්දමින් නොවේ.

ස්වකීය දෙවන සිනමා නිර්මාණය සඳහා ලෙටීෂියා බොතේජු ලියූ ‘ගඟ අද්දර’ නවකතාව තෝරා ගැනීමට සුමිත්‍රා ගත් තීරණය ම සංවාදාත්මක ය. ‘ගඟ අද්දර’ විශිෂ්ට නවකතාවක් සේ නොසැලකෙන බව සත්‍යයකි. එසේම එය ලාංකික සාහිත්‍ය වංශය තුළ එන ප්‍රකට නවකතාවක් සේ හඳුනා ගැනීමට ද නුපුළුවන.

ලෙටීෂියා බොතේජු නවකතාකාරියක සේ ලාංකික නිර්මාණ සාහිත්‍ය විෂයයෙහි සිදු කළ මැදිහත්වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් වීමේ ඉඩක් නැත. ඇත්තෙන් ම ඇගේ නවකතා අරභයා අලුතින් ම සාකච්ඡාවක් ඇති වන්නේ සුමිත්‍රා පීරිස් නිර්මාණය කළ ‘ගඟ අද්දර’ සිනමාපටය නිසාවෙන්ම යි.

‘ගඟ අද්දර’ ට පෙරාතුව සුමිත්‍රා විසින් නිර්මාණය කරන ලද ‘ගැහැනු ළමයි’ සිනමා පටයට පාදක වූ කරුණාසේන ජයලත් එනමින් ම ලියූ නවකතාවත්, ඔහුගේ සෙසු නවකතාත් ලාංකික පාඨක සමාජය තුළ ඉහළ ප්‍රසාදයක් ලබා ගෙන ඇති බව පැහැදිලි ය.

සුමිත්‍රා ‘ගඟ අද්දර’ නිර්මාණය කිරීමෙන් අනතුරුව තෝරා ගත් ඇතැම් නවකතා ද, කෙටිකතා ද පාඨක අවධානයටත් විචාරක අවධානයටත් සෑහෙන පමණින් ලක් වූ බව බොහෝ දෙනෙකු ගේ පිළිගැනීම යි. කෙසේ වෙතත් ‘ගඟ අද්දර’ නවකතාව සිනමාවට නැඟීමේ තදබල වුවමනාවක් සුමිත්‍රාට නොතිබූ බව ද පෙනේ. ‘ගඟ අද්දර’ නිර්මාණය කොට වසර 30 ක් පමණ ගත වූ පසු ඇය පවසන්නේ ‘ගඟ අද්දර’ නවකතාව කියවා තිබුණ ද එය සිනමාවට නැඟීමේ කිසිදු කැමැත්තක් තමා තුළ නොතිබූ බවයි.

එහෙත් තිස්ස අබේසේකර ලියූ තිරනාටකය ‘ගඟ අද්දර’ නවකතාව සිනමාවට නැඟීම සඳහා තමාව පෙලඹ වූ බව ද ඇය කියා සිටී.

(එවන් වෘත්තිකයකු අපේ සිනමාවේදී යළි හමු නොවේවි, සරසවිය, 2009.04.23)

ඉන් පෙනී යන්නේ තිස්ස අබේසේකර, ‘ගඟ අද්දර’ සිනමා පටය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බවයි. මේ වන විට තිස්ස ලාංකික සිනමාවේ විශිෂ්ටතම සිනමාපට කිහිපයක් සඳහා ම තිර නාටක රචනා කොට තිබිණ. ඒ අතර ‘නිධානය’ තිර නාටකය ද විය. එසේම ඔහුගේ ප්‍රථම නිල වෘත්තාන්ත සිනමා පටය වන ‘කරුමක්කාරයෝ’ ප්‍රදර්ශනයට මුදා හැරෙන්නේ ද ‘ගඟ අද්දර’ට සමගාමීව යි.

දීර්ඝ කාලීන අත්දැකීම් තිබුණ ද සුමිත්‍රා මේ වන විටත් නවක සිනමාකාරියක වූවා ය.

නිෂ්පාදිකාවගේ ඇරියුම පරිදි යි තිස්ස ‘ගඟ අද්දර’ තිර නාටකය රචනා කරනු ලැබ ඇත්තේ. ‘ගඟ අද්දර’ නවකතාව හා සසඳන කල්හි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘හිඟන කොල්ලා’ වඩා හොඳ බව තිස්ස ගේ අදහස යි. ඒ අනුව මෙතරම් දුර්වල නවකතාවකින් තිරනාටකයක් ලියන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය තමාට ඇතිවූ බව ද ඔහු නොසඟවා පවස යි. (කලා, 1989.01.10)

‘ගඟ අද්දර’ නවකතාවේ ස්වභාවය ගැන කදිම විවරණයක් ඒ අදහස ගෙන එන බව පෙනේ. ඇත්තෙන් ම ‘ගඟ අද්දර’ වෙහෙසකර වදන් සහිත දිගු වැකි අන්තර්ගත, වැල් වටාරම් ද එක්කළ නවකතාවක් බව පළමු කොට ම දැක ගත හැකිය. එහි මුල් වැකිය මුල් පිටුව ද ඉක්මවා යයි. වර්ණනා කිරීම්වල සීමා බොහෝ ඈතට දිව යයි. ඒවා මූලික පුවතට ප්‍රබල ආලෝකධාරා එල්ල නොකරන තරම් ය. සමකාලීන පාඨකයා කෙසේ වතුදු පසුකාලීන පාඨකයා නම් මෙබඳු ලක්ෂණ පිළිගන්නට මැළි වෙයි.

කෙසේ වුවද ‘ගඟ අද්දර’ සුමිත්‍රා පීරිස් ගේ සිනමා භාවිතය තුළ පමණක් නොව පොදුවේ ලාංකික සිනමාව විෂයයෙහි ද යම් අවධානයකට ලක් වන සිනමා පටයක් වේ. මේ සඳහා උර දුන් අය අතරින් තිස්ස අබේසේකර ප්‍රධාන ය. දුර්වල නවකතාවක් මුල් කර ගෙන විචාරක – පේ‍්‍රක්ෂක අවධානයට සෘජු ව පාත්‍ර වන තිරනාටකයක් ලිවීමේ දුෂ්කර අභියෝගය ජය ගන්නට තිස්ස සමත් ව ඇත. මෙයින් පෙනී යන්නේ ‘ගඟ අද්දර’ සිනමා පටය සුමිත්‍රාගේ සේම තිස්සගේත් පෙරට ඒමක් බව ය.

කලාත්මක ගුණාංග මුල් කර ගත් සිනමාව පුද්ගලයා හා සමාජය නොයෙක් තේරුම් සහිත ව විශද කරයි. නව ඥානයක්, පෙර නොවූ ජීවිතාවබෝධයක් රසිකයාට ලබා දෙයි. එසේම කලාත්මක ගුණාංග මුල් කර ගත් සිනමාව ජීවිතයේ අඳුරු අහුමුළු – ගූඪ ප්‍රදේශ විනිවිද දකින්නට ද සමත් ය. ‘ගඟ අද්දර’ නෑකම් කියන්නේ මේ දෙවන ආකාරයේ සිනමා භාවිතයට යි.

මෙතැනදී වහා පැමිණෙන්නේ අඳුරු – සංකීර්ණ රූප රාමු පෙළක අවශ්‍යතාව බව පෙනේ. එහෙත් තිස්සගේ තිර නාටකය මත රැඳෙමින් සුමිත්‍රා උත්සාහ කරන්නේ අතිශය විචිත්‍ර – වර්ණවත් රූප රාමු නිර්මාණය කරන්නට ය. සුමිත්‍රාගේ සිනමා භාවිතයේ මූලිකාංග මෙතැනදී ද දිස් වේ. වසර ගණනාවක් තිස්සේ ම ඇය රැඳී සිටින්නේ මේ පිළිවෙත මත යි.

සුමිත්‍රා පි‍්‍රය කරන මේ රූප භාවිතය යථාර්ථය වසං කරවන මායා දැලක් ය යන අදහස් තවමත් පවතී. එසේම එය ජීවිතයේ අඳුරු අහුමුළු – ගූඪ ප්‍රදේශ ස්පර්ශ කරන්නට – කියවන්නට ඉඩ සැලසෙන මගක් ය යන අදහස ද තවමත් පවතී. මේ සංවාදයේ එක් උච්චතම අවස්ථාවක් වන්නේ ‘ගඟ අද්දර’ යි.

සුමිත්‍රාගේ මේ රූප නිර්මාණය දෙයාකාරයකින් දත හැකි වේ. එක් ආකාරයක් වන්නේ චරිත හා අදාළ පරිසරය රූපයට නැඟීම යි. අනෙක් ආකාරය වන්නේ එම රූප පෙළ ගැස්වීම යි. නවක සිනමාකාරියක වුවද සුමිත්‍රා මේ ආකාර දෙකට ම යුක්තිය ඉටු කරලන්නට පසුබට නොවන බව පෙනේ. මෙහිලා ඇයට පිටිවහලක් වන්නට ඇත්තේ සංස්කරණ ශිල්පිනියක සේ ලද අත්දැකීම් විය යුතු ය. ‘ගඟ අද්දර’ හි සංස්කරණ උපදේශකත්වය සපයන්නේ ද ඇය යි.

‘ගඟ අද්දර’ වර්ණ සිනමාපටයක් වීම සුමිත්‍රාට අමතර වාසියකි. මෙතැනදී ඇය කැමරා අධ්‍යක්ෂ ඩොනල්ඩ් කරුණාරත්න හා කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන සමඟ ගනුදෙනු කරන්නේ සූක්ෂම ආකාරයෙනි. ඩොනල්ඩ් ඒ වන විට ප්‍රකටව සිටියේ ධර්මසේන පතිරාජ ප්‍රමුඛ සිනමාකරුවන් දෙතුන් දෙනෙකුගේ කළු – සුදු සිනමාපට සඳහා උපරීම සාධාරණයක් ඉටු කළ කැමරා ශිල්පියා ලෙසිනි. එම අදහස ජනිත නොවන පරිදි හේ ‘ගඟ අද්දර’ රූප ගත කොට ඇත.

ඩී. බී. වර්ණසිරි පවසන්නේ වෙනත් වර්ණ සිනමාපට සතු දැඩි වර්ණ සංයෝජනය හා ‘ගඟ අද්දර’ සිනමා පටයේ චරිත අඳින පලඳින දෑ මෙන් ම පරිසර පසුතලය එකට පෑස්සෙන අයුරින් ඉතා ම සියුම් වර්ණ චිත්‍රයක් නිර්මාණය කර ගන්නට සුමිත්‍රා හා ඇගේ නිර්මාණ කල්ලිය (ඩොනල්ඩ් කරුණාරත්න හා හේමපාල ධර්මසේන) සමත් ව ඇති බවයි.

(අපද කැටුව ගඟ අද්දරින් එතෙරට, දෙසතිය, 1980.08.15 පි. 20)

රූප රාමු පෙළ ගැස්වීමේ දී සුමිත්‍රා අනුගමනය කරන රීතිය සුමට ය. ගොරහැඩි, රළු බවක් ඇත්තේ ම නැත. රසිකයා හා සිනමා පටය අතර සෘජු – සමීප සබඳතාවකට එය මහෝපකාරී වේ.

සුමිත්‍රාගේ සිනමා භාවිතයේ එන වැදගත් ම අංගයක් වන්නේ ස්ත්‍රී චරිත මුල් කර ගැනීමට දරන තැත යි. එතැනදී ද ඇගේ වැඩි අවධානයකට ලක් වන්නේ පීඩිත ස්ත්‍රී චරිත ය. මේ පීඩිත බව විවිධාකාර බව පෙනේ. ආර්ථික, සමාජ හා දේශපාලනික වශයෙනි. ආධ්‍යාත්මික වශයෙනි.

ස්ත්‍රිය සතු දරා ගැනීමේ හැකියාව, දයාව, කරුණාව, ආදරය පළ කරන ආකාරය සේම එඩිතර බව ද සුදුසු පරිදි උද්දීපනය කරන්නට ඇය මැළි නොවෙයි.

‘ගඟ අද්දර’ නවකතාව යම් විශේෂත්වයක් ප්‍රකට නොකරමින් මතු පිට පුවත ඉක්මවා නොයන්නේ කතා රසය සඳහා ම මුල් තැනක් දෙන්නට ලෙටීෂියා බොතේජු උත්සාහ කරන හෙයිනි.

ඉඩම් හිමි ධනවතකුගේ එක ම දියණිය නිර්මලා ය. ඇගේ පෙම් සබඳතාවට පියා කැමති නොවේ. පියාගේ බල කිරීම නිසා ඇයට සිදුවන්නේ එතෙර සිට ආ ධනවත් නීතිඥයකු හා විවාහ වන්නට යි. ඇත්තෙන් ම ඔහු එතෙරදී විවාහ වූවෙකි. සුදු ජාතික බිරිඳ ඔහු සොයා එයි. මේ අත්දැකීම විඳ ගත නොහැකි නිර්මලා උමතු වෙයි. ඇයව සුවපත් කරන්නේ තරුණ වෛද්‍යවරයෙකි. කෙසේ වුවද අවසන නිර්මලා, පෙම්වතා පිළිබඳ සිතිවිල්ලෙන් ජීවිතක්ෂයට පත් වෙයි.

සුමිත්‍රා මේ සරල පුවතට නව අගයක් ලබා දෙන්නේ නිර්මලාගේ චරිතයට නිශ්චිත වටිනාකමක් ද, සජීවී බවක් ද ලබා දෙමිනි. ඒ නවකතාවේ ආ සීමා බැහැර කොට ය. ස්ත්‍රියකගේ පීඩිත බව කවර සමාජ පන්තියක දී වුව ඉස්මතු විය හැකි බව සුමිත්‍රා හඬ නොනගාම පවස යි. වසන්ත ඔබේසේකර හා ධර්මසිරි බණ්ඩාරනායක සමකාලීනව නිර්මාණය කළ සිනමාපට හා සැසඳීමේ දී මේ බව වඩා හොඳින් සහතික කර ගත හැකිය.

පාදක වූ පුවත පැරැණි වුවත්, එහි සර්වකාලීන ගුණාංග තිබු බව ඇය පවසන්නේ ඒ නිසයි. (සරසවිය, 1999.08.05)

‘ගඟ අද්දර’ මහජන ප්‍රදර්ශනයට එක් වූයේ වර්ෂ 1980 දීය. ඉන් වසර නවයකට පමණ පසුව සුමිත්‍රා කියා සිටින්නේ තමා අද ජීවත්වන – බොහෝ සෙයින් දුක් විඳින, පරාජය වන ගැහැනුන් ගැන සිනමාපට නිර්මාණය කරන බව ය. (සරසවිය, 1989.06.22)

ඒ වන විට ඇය ‘ගඟ අද්දර’ ඇතුළු සිනමාපට 05 ක් නිර්මාණය කොට තිබිණ. නිශ්චිත කාරණා තුනක් මෙතැනදී ඉස්මතු වෙයි.

පළමු කාරණය වන්නේ සුමිත්‍රා දෙගිඩියාවකින් තොරව ම සරල – නොගැඹුරු හා එපමණ විචාර – ප්‍රතිචාර සඳහා ලක් නොවූ නවකතා ඇසුරු කර ගන්නට දරන කැමැත්ත යම් ප්‍රතිපත්තියක ලක්ෂණ පෙන්නුම් කිරීම ය.

දෙවැන්න වන්නේ ඒවාහි ඇති සමහර මූලිකාංග ප්‍රවර්ධනය කරන්නට ඇය දක්වන උනන්දුව ය.

තෙවැන්න වඩාත් වැදගත් ය. ඇත්ත වශයෙන් ම එය ඉහත කාරණා ද්විත්වයේ ම දිගුවක් ද වේ.

එනම් ස්වකීය අරමුණු හා සැසඳෙන පරිදි අදාළ පුවතේ මතුපිට රූපත්, අභ්‍යන්තර රූපත් යළි සකසන්නට හා ඒවාට නව අරුත් දෙන්නට පසුබට නොවීම ය.

එදා ගඟ අද්දර චිත්‍රපටයේ ගීත
පටිගත කරද්දී…

ඒ අනුව සුමිත්‍රා ‘ගඟ අද්දර’ සිනමාපටය රැගෙන යන්නේ 1920 දසකය කරා යි. වරක් ඇය කියා සිටියේ ‘ගඟ අද්දර’ නවකතාවට 1950 දසකය පාදක වූ බව ය. (සරසවිය, 1999.08.05)

1920 දසකය සිහි ගන්වන්නට ඇවැසි දෑ නිවැරැදි ව සපයා ගන්නටත්, නිවැරැදි ව නිරූපණය කරන්නටත් සුමිත්‍රා සමත් වන්නේ පුරුෂ මූලික සිනමා අධ්‍යක්ෂණය ද යම් අභියෝගයකට ලක් කරමිනි. ඇත්තෙන් ම ‘ගඟ අද්දර’ අදටත් මතක හිටින සිනමා පටයක් වන්නේ මේ ප්‍රතිනිර්මාණ සමත්කම ද නිසා යි. නවකතාවේ කූට ප්‍රාප්තිය වන්නේ නිර්මලා පාරුවක නැඟ ගඟෙන් එගොඩ වද්දී ගඟට පැන දිවි තොර කර ගැනීම ය. අනතුරුව ද නවකතාව දිග හැරේ. එය පාඨකයා අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කිරීමක් ද විය හැකිය.

එහෙත් සිනමාපටයේ දී සුමිත්‍රා තීන්දු කරන්නේ අන් ආකාරයක කූට ප්‍රාප්තියකින් නතර වන්නට යි. ඒ අනුව පෙම්වතාගේ ඡායාව පසුපස හඹා යන නිර්මලා ගඟට වැටී මිය යන ආකාරය නිරූපණය කෙරේ. එය දිවි නසා ගැනීමක අදහසක් ද ගෙන එයි. එය සිදුවන්නේ ඇගේ උමතු බව තවමත් තුරන් නොවූ බව හඟවමිනි.

‘ගඟ අද්දර’ හි මුල් ප්‍රදර්ශනය සිදු වන්නේ ලාංකික සිනමාවේ කර්මාන්තමය පදනම ශීඝ්‍රයෙන් දුර්වල වී ගෙන ගිය සමයක ය. අපේක්ෂිත හෝ ප්‍රමාණවත් ආදායම් උපයා ගත හැකි නොවූ සිනමාපට ගණනාවක් ම මෙකල ප්‍රදර්ශනය කෙරිණ.

දුර්වල යැයි කියූ නවකතාවක් ඇසුරු කොට ගත් සාර්ථක වීම් සහිත සිනමාපටයක් වූ ‘ගඟ අද්දර’ ලබා ගත්තේ එබඳු ප්‍රතිචාර නොවේ. මුල් වටයේ සිනමා ශාලා ගණනාවකම ‘ගඟ අද්දර’ දින 50 ඉක්මවා ප්‍රදර්ශනය වූ බවයි පැවසෙන්නේ.

(චිත්‍රපට වාර්ෂිකය, 31, 32, 33, පි. 975)

සත්‍යයේ සැබෑ හඬ මහාත්මා ගාන්ධී

•December 15, 2010 • Leave a Comment

1869 උපත ලද ගාන්ධී තුමාගේ එකසිය හතළිස් එක් වන ජන්ම දින සැමරුම පසුගිය ඔක්තෝබර් මස 2 වන දිනට යෙදිණ. එතුමාගේ සම්පූර්ණ නම මෝහන්දාස් කරම්චන්ද් ගාන්ධී නම් විය.

භාරතයට නිදහස ලබා ගැනීම වෙනුවෙනුත් හින්දි භාෂාව භාරතයේ ජාතික භාෂාව ලෙස නම් කිරීමටත් අවශ්‍ය පසුබිම සකසමින් භාරතය තුළ මහා ආන්දෝලනයක් ඇති කළ මෙතුමා ව භාරතීයන් හඳුන්වන්නේ ‘ජාතියේ පියා’ යන විරුදාවලියෙනි.

සත්‍යවාදී ආකල්ප සහ අහිංසාවාදී හැසිරීමත් බුද්ධිමත් දේශපාලන දර්ශනයක් අනුගමනය කිරීමත් තුළ ගාන්ධීතුමා ලෝක පූජිත චරිතයක් බවට පත් විය.

මනුෂ්‍ය සමාජයේ එකිනෙකා අතර තිබිය යුතු අන්‍යොන්‍ය අවබෝධය හා සහයෝගයත්, සමානාත්මතාව යන සංකල්පයත් පදනම් කොට ගෙන නිර්මාණය වූ එතුමාගේ දර්ශනය පූර්ණ ලෙසම නිර්මාණාත්මක, භාවාත්මක සහ විද්‍යාත්මක දර්ශනයකි. ප්‍රාසාංගික බවින් අනූන මෙම සත්‍යවාදී දර්ශනයේ උපයෝගීතාව සර්වකාලීන ය.

මේ මහා යුග පුරුෂයාගේ මුඛ්‍ය පාඨය වූයේ ‘සත්‍ය’ යි. සත්‍යය ජය ගැනීම උදෙසා දැඩි උපවාසයන් හි යෙදෙමින් තම ශරීරය පවා කැප කළ එතුමා, සත්‍යවාදීව කටයුතු කරන්නා තමන්ගේ පරම දෙවියන් ලෙස පිළිගත්තේ ය.

එමෙන් ම කිසිවෙකුට තමා අදහන දෙවියන් කිසියම් රූපයකින් හෝ මූර්තියකින් දැකිය නොහැකි බවත්, දෙවියන් දැකිය හැකි වන්නේ තමා සමාජයේ හැසිරෙන හා ක්‍රියා කරන ආකාරය අනුව බවත් එතුමාගේ විශ්වාසය විය. එනම් පුද්ගලයෙකුට තම පියවි ඇසට දෙවියන් දර්ශනය නොවන අතර, ඔහුට තමාගේ ශ්‍රද්ධාවන්ත බව තුළ දෙවියන් දර්ශනය වන බව එතුමාගේ ආකල්පය විය.

දේශයේ ජනතාව තමාගේ ඇස්-කන් හා සමාන කොට සැලකූ එතුමා තම ජීවන දර්ශනය හා අරමුණ පිළිබඳ ව දැක්වූයේ මෙවැනි අදහසකි. “ජීවිත කෝටි ගණනක යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම මාගේ ජීවන දර්ශනයයි. එයින් බැහැරව කටයුතු කිරීමට මට ධෛර්යයක් නැත. මන්ද එයින් බැහැරව කටයුතු කිරීම මා සිතන්නේ මම මගේ ජීවිතයේ වගකීම් පැහැර හැරීමක් සහ මා පිළිගන්නා දෙවියන්, ම විසින් ම ප්‍රතික්ෂේප කිරීමක් ලෙස ය.”

“කිසියම් කටයුත්තක දී හෝ අවස්ථාවක දී යම් පුද්ගලයෙක් තමාගේ යහපත් හැසිරීම පෙන්වයි නම්, ඔහු තුළ ගුණගරුක බව ඇත්නම් මම ඔහුව කිසිදා අමතක නොකරමි.” මනුෂ්‍යයා තුළ තිබිය යුතු විශ්වාසවන්තභාවය හා සත්භාවය එතුමා හඳුනාගත්තේ ඒ ආකාරයට ය.

එමෙන් ම කිසිවෙකු පවසන දේ එතුමා විශ්වාස නොකළේ ය. තම බුද්ධිය මෙහෙයවා අපක්ෂපාතීව කටයුතු කළ මහා පුරුෂයකු ලෙස ගාන්ධී තුමා සමාජය වෙත ඉදිරිපත් කළේ මෙවැනි ආදර්ශයකි. “මම අනාවැකි කියන්නෙක් නොවෙමි. මට දිවැසින් බැලීමට ද වරම් නැත. සමාජයේ යම් සීමාවක් මා පියවි ඇසින් දකින්නේ ද, යම් දෙයක් මගේ දෙසවනට ශ්‍රවණය වන්නේ ද මා ග්‍රහණය කර ගන්නේ එපමණයි. මා තීරණ ගනු ලබන්නේ මගේ බුද්ධියෙන් මිස අන් අය පවසන දේ මත නොව.”

‘සත්‍ය’ ජය ගැනීමේ මාර්ගය ලෙස එතුමා පිළිගත්තේ අහිංසාකාරී හැසිරීම යි. එබැවින් ‘සත්‍ය’ සහ අහිංසාවාදී බව තමාගේ ජීවිතයෙන් වෙන් කළ නොහැකි දෙයක් බවට පත්කරගත් ගාන්ධී තුමා පැවසූයේ “මා තුළ සත්‍ය හැරුණු විට වෙනත් ධර්මයක් ද අහිංසාකාරීව හැසිරීම ට වඩා උතුම් ජයග්‍රහණයක් ද නැත” යන්නයි.

ප්‍රජා පාලනය ගැන එතුමා දැක්වූයේ මෙවැනි නිහතමානී අදහසකි : “අවුරුදු දොළහක් වැනි ඉතා ලාබාල වයසකදී ප්‍රජා පාලනය යන පාඩම අවබෝධ කර ගත් මම මුළු ජීවිතය පුරා ම ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රියා කරමි.

එහෙත් කිසියම් දිනක මට මිය යාමට සිදු වෙයි. මගේ ශරීරයේ අළු සුළඟට මුසු වන හෝ ‘ගංගා’ නම් නදියේ පාවෙන එදිනට, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැරූවන්ගෙන් ශ්‍රේෂ්ඨත ම පුද්ගලයා මම බව මුළු ලෝක ප්‍රජාවම පිළිගනි යි. මා මෙය පවසන්නේ ඉතා නිහතමානීව සහ සත්‍යයේ හඬ අවදි කිරීමක් ලෙස මිස මාගේ පුරාජේරුව දැක්වීමට නොව.” දෙවියන් විසින් ලබා දුන් බුද්ධිය ප්‍රයෝජනයට ගෙන ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීම එතුමාගේ එකම බලාපොරොත්තුව විය.

දේශපාලන පසුබිම යටතේ ගාන්ධීතුමා අනේකවිධ හිංසන – පීඩන තත්ත්වයන්ට මුහුණ දුන්නේ ය. එවැනි හිංසන – පීඩන තත්ත්වයන් තවත් පුද්ගලයකුට අත් නොවෙත්වා! යන්න එතුමාගේ ප්‍රාර්ථනය විය. මන්ද යම් පුද්ගලයෙක් මනසින්, වචනයෙන්, ක්‍රියාවෙන් අහිංසාකාරී ව සහ සත්භාවයෙන් ජීවත් වෙයි ද, අවසානයේ ඔහුට සිදුවන්නේ තම ආත්මය පවා පරිත්‍යාග කිරීමට යි.

“සත්‍ය තුළින් ජීවිතය පූර්ණත්වයට පත්කර ගැනීම කලාවයි. යම් කෙනෙක් උතුම් ලෙස තම ජීවිතය ගොඩනගාගන්නේ ද ඔහු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් වන්නේ ය. එමෙන් ම සියලු ම ජනයාට තේරුම් ගත හැකි සාහිත්‍යයකට සහ කලාවකට මම බෙහෙවින් ඇලුම් කරමි.” සාහිත්‍ය සහ කලාව පිළිබඳ ව ගාන්ධීතුමාගේ දැක්වූයේ එවැනි අදහසකි.

ජනතාව අතරට ආදර්ශවාදී අදහස් රැගෙන යාමට තමාගේ මුළු ජීවිතය ම කැප කළ ගාන්ධීතුමා අතින්, යම් දෙයක් ලියවුනේ ද එය සත්‍යයේ සහ අහිංසාවාදයේ වර්ණනාවක් විය. ඇත්තෙන් ම එතුමා ආගම ප්‍රචාරය කිරීමේ ශාස්තෲවරයෙක් නොවී ය. විනය ගරුක සමාජ ශෝධකයෙක් විය. එක් අවස්ථාවක එතුමා පැවසූයේ “ඕනෑම මොහොතක මම මරණයට සූදානම්. මා මැරෙන මොහොතේත් මගේ මුඛයෙන් පිටවන්නේ ‘අහිංසාව‘ යන වචනය යි.

මන්ද මගේ ශබ්ද කෝෂයේ ‘හිංසාව‘ යන වචනය ඇත්තේ ම නැත. එමෙන් ම ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කිරීමට මා සතුව ඇති එකම ආයුධයත් ‘අහිංසාව‘ යි. මේ ලෝකයේ සත්‍යවාදීව ක්‍රියා කිරීම නිසා කිසියම් පුද්ගලයෙක් යම් අගෞරවයකට අවමානයකට පත්වන්නේ ද එම අවසාන පුද්ගලයා මම වෙමි.”

1948 ජනවාරි 30 වන දින මුළු ලෝක ප්‍රජාව ම කම්පා වූ දිනයකි. සාහසිකයකුගේ වෙඩි පහරින් ගාන්ධීතුමා ඝාතනයට ලක්වූයේ එදින ය. භාරත මාතාව සිප ගනිමින් ඇගේ ඇකය මත අවසන් හුස්ම හෙළූ මේ යුග පුරුෂයාගේ අවසාන ප්‍රාර්ථනය වූයේ මෙය යි. අහෝ දෙවියනි! මගේ නොව ඔබවහන්සේගේ අණසක, බලමහිමය මේ ලොව තුළ පතුරවා සත්‍ය ජය ගැනීමට ඉඩ දෙන්න.”

අමානි වික්‍රමආරච්චි

 
Follow

Get every new post delivered to your Inbox.